උණුසුම් පුවත්
Search
gota

හිටපු ජනපති ගෝඨා රට අතහැර යන අතරේ පවුල පිටින් ඩුබායිහි සංචාරයක

272

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (26) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව වාර්තා විය.

හිටපු ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින් සමග ඩුබායි වෙත ගමන් කරන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඊයේ දින අලුයම 02.55 ට පිටත්ව ගොස් තිබුණි.

පසුව එක්සත් ජනපදයට පියාසර කිරීමට අපේක්ෂා කරන බවට වාර්තා පළවේ. ඇතැම් වාර්තා වලින් කියැවුනේ ඔහු එතැන් සිට ඇමරිකාවට යන්නට පෙර වෙනත් රටකට කෙටි නිවාඩුවක් සඳහා යන කතාවකි. නමුත් එය සනාථ කර නැත.

රටේ ආර්ථික අර්බුදයකින් පසු ජනතා අරගලය සිදුවූ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පළා ගිය අතර පසුව කලබලකාරීත්වය පාලනය කළ පසුව ආරක්ෂා සහිතව නැවත සිය රට පැමිණ දැඩි ආරක්ෂාව යටතේ කල් ගෙවීය.

ඔහු මෙරට ජනපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇමරිකානු පුරවැසිභාවය අත්හළ අයෙකු වීම නිසා නැවත ඇමරිකාවට යාම ඔහුට එක්වරම කළ නොහැකි තත්වයක පැවතිණි.

පසුගිය දිනවල ගෝඨාභයගේ පුත් මනෝජ් ඇතුළු පවුලේ අය නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර පසුව ගෝඨාභයට ඇමරිකාව වෙත යන්නේ ඔවුන් සමගිනි.

පෙරේදා අලුයම් කාලයේ ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ‌ගිය බව ගුවන් තොටුපළ ආරංචි වාර්තා කළේය.

නිවාඩුවක් සදහා රාජපක්ෂ පවුල යුරෝපා රටක දින කිහිපයක් ගත කිරීමට නියමිත බවද අනතුරුව ඇමරිකාවට යනු ඇති බවද වාර්තා විය.

ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සහ සිංගප්පූරුවේ ගත කළ කාලය ඇතුළත අමෙරිකානු වීසා ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී උත්සාහ කළත් එය ව්‍යර්ථ විය. කෙසේ වෙතත් ඔහුට ලංකාවේ පවතින තර්ජන පෙන්නුම් කර වීසා ලබාගැනීමේ හැකියාවක් පවතින බවට හෝ දරුවන්ගේ ආරාධනාව මත ලබාගන්නා මාස කිහිපයක වීසා මත ඇමරිකාවට යාමට අවස්ථාව පැවතිණි.

තනතුරින් පළා ගිය අයෙකු වුවත් හිටපු ජනපතිවරයෙකුට හිමිවන නිල නිවාස ඇතුළු වරප්‍රසාද ඔහුට හිමි බව වත්මන් රජයේ බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.

ගෝඨාභය පෙරේදා පිටත්වූයේ යලි මෙරට පැමිණිමටද නැතිනම් දිගටම ඇමරිකාවේ රැඳී සිටීමටද යන්න වාර්තා නොවේ.

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශාල වැඩි ඡන්ද ගණනකින් ජනපතිවරණය ජයග්‍රහණය කළ නමුත් ඉතා කෙටි කලකින්ම ජනතා අප්‍රසාදයට ලක්වූ ජනපතිවරයා බවට පත්විය. ඔහුගේ පාලනය අවසන් වූයේ රටේ විශාල නොසන්සුන්තාවයන් මතුකරමිනි. ආහාර අර්බුදය, විදුලි අර්බුදය මෙන්ම ඉන්ධන අර්බුදය ඇතුළු ජන ජීවිතය හා ආර්ථික ක්‍රියාවලිය අඩාල කරන ප්‍රබල ගැටලු තවම විසඳී නැත.