උණුසුම් පුවත්
Search
garment and tea factory

ඇඟළුම්හල් 200ක් මකර කටට යද්දී ඉන්ධන හිඟයෙන් මෙරට තේ කම්හල් ටිකත් කොට උඩ

106

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේ දී අද දවසේ බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පැවැසීය.

බොහෝ අවස්ථා වලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලට ද ලොකු බලපෑමක් වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදය පවසයි.

මේ අතර ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහන වලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක්වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.

මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතන වල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතන වලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි පෙන්වා දෙන ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම් කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

තව ද ප්‍රමාණවත් ඉන්ධන තොග ඉදිරි දින කිහිපයේදී නොලැබුණහොත් රට පුරා ( දිස්ත්‍රික්ක 07ක) සියලු තේ කර්මාන්ත ශාලා වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් පවසනවා.

රට පුරාම පෞද්ගලික තේ කම්හල් 264ක් සහ වැවිලි සමාගම යටතේ වූ සහ සාමාජිකයන් නොවන කම්හල් තවත් 250ක් පමණ ක්‍රියාත්මක වේ.

සමහර තේ කම්හල් හිමියන් ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවා ඇතත් ඉන්ධන ලබාදීම මේ දක්වාම සිදුවී නැති බවත් ඛනිජ තෙල් සංස්ථාවෙන් තේ කර්මාන්තයට ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැති බවත් සභාපතිවරයා කීවේය.

ඉන්ධන ප්‍රශ්නය සහ විදුලිය කැපීම හේතුවෙන් දිවයිනේ සමහර ප්‍රදේශ වල කර්මාන්තශාලා ක්‍රියාත්මක වන්නේ සතියේ දින 04ක් පමණක් බව ද හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන ප්‍රශ්න හේතුවෙන් තේ දලු ප්‍රවාහන කටයුතු ද අඩපණ වී ඇතැයි වාර්තා වේ.

මේ අතර විදුලිය කප්පාදුව නිසාද තේ කර්මාන්තශාලා බරපතළ අර්බුදයකට වැටී ඇතැයි සඳහන් කළ ලයනල් හේරත් මහතා විදේශ විනිමය වැඩි වශයෙන් ලැබෙන තේ කර්මාන්තයේ ප්‍රශ්න ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

රටපුරා කුඩා තේ වතු හිමියන් ලක්ෂ හතරක් සහ තේ කර්මාන්තය ආශ්‍රිත වක්‍ර රැකියාවන්හි නියැළෙන ලක්ෂ 20කට ආසන්න පිරිසක් මේ තත්වය හමුවේ බරපතළ පීඩාවකට ලක්ව සිටින බව තේ කම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

තේ කර්මාන්තශාලා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් මෙයට පෙර ආරම්භ වුවත් එය අසාර්ථක වූ බවද සංගමය සඳහන් කරයි.

සුජිත් හේවාජුලිගේ

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.