ගායනය, වාදනය, නිවේදනය සහ නර්තනය ආදී කලා ක්ෂේත්‍රයන් රැසකම සිය ප්‍රතිභාවෙන් නම රැන්දූ කලාවේදිනියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. වර්තමාන ගීත නිර්මාණ අතර ප්‍රේක්‍ෂකයන්ට දැනෙන අරුත්බර නිර්මාණයන් ඉදිරිපත් කිරීම නිසාම ඇයගේ මධුර කටහඬට මෙන්ම ගී නිර්මාණ වලට ඇලුම් කරන විශාල රසික පිරිසක් බිහිවෙලා තිබෙනවා. ඉතිං ඒ රසික රසිකාවියන් වෙනුවෙන් සිදු කිරීමට නියමිත අලුත්ම රසවින්දනාත්මක කටයුත්තක් ගැන මෙන්ම ඇගේ අනෙකුත් කලා කටයුතු පිළිබඳවත් හෘදයාංගම කතාබහකට ඇය සමඟ එකතු වුණා.
අභිෂේකා ඉතිං කොහොමද?
”මේ දවස්වල ටිකක් කාර්යබහුලයි….”
ඔබේ අලුත් ගීතය සබඳිනීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
”එකම ඍණාත්මක ප්‍රතිචාරයක්වත් නොලැබුන ගීතයක් තමයි සබඳිනී කියන්නෙ. හැමදාම අලුතින් ගීත නිර්මාණයක් කළ විට මම කියනව මේ සිංදුවට තමයි වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ කියලා. හැබැයි මේ සැරේ කියනවා “සබඳිනී” තමයි මගේ ජීවිතේ වැඩිපුරම ප්‍රතිචාර ලැබුණ ගීතය. ඉතින් හරිම සතුටුයි. මොකද මෙතැනදි මට විතරක් නෙවෙයි මගෙ සබඳිනීටත් ප්‍රතිචාර ලැබෙන නිසා.”

ඇයි මේ ගීතය වෙනුවෙන් ප්‍රනීර්ශාවම තෝරගත්තෙ?
”ඇත්තටම මේක සෝලෝ සිංදුවක් විධියට තමයි මුලින්ම රෙකෝඩ් කළේ. ප්‍රනීර්ශා “වොයිස් ටීන්” තරගය ජයග්‍රහණය කළ පසු, ඇයවත් ඉදිරියට ගෙන ඒමට හොඳම විදිහ මේක තමයි කියල මම හිතුවා. ඇත්තටම ඇය වෙනුවෙන් මේ ගීතය වෙනස් කළා කිව්වොත් වඩාත් නිවැරැදියි.”
පසුගිය “වොයිස් ටීන්” තරගයේ කෝච් කෙනෙක් ලෙස ඔබ ගීතවල අඩුපාඩු පිළිබඳ පමණක් නොවෙයි දරුවන්ගෙ අනාගතය, ශරීර සෞඛ්‍ය ගැන පවා හිතමින් උපදෙස් ලබාදෙනවා අප දුටුවා. මොකක්ද ඒකට හේතුව?
”ඒකට හේතුව තමයි “කෝච්” කෙනකු සහ “ජජ්” කෙනකු අතර තිබෙන වෙනස. “ජජ්” කෙනෙක් කියලා කියන්නෙ හැමවෙලේම කෙනෙක්ගෙ ටැලන්ට් එක ප්‍රශ්න කරන කෙනෙක්. හැබැයි කෝච් කෙනෙක් කියන්නෙ තමන්ගෙ තරගකරුව තේරුම් අරගෙන, එයාගෙ ඇතුළේ සිටින හොඳම කෙනාව එළියට ගන්න උදවු දෙන කෙනෙක්. මං හැමවෙලේම උත්සාහ කරන්නෙ දරුවන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න. මං හිතනව එතැනදි මං යම්තාක් දුරට සාර්ථක වුණා කියල.”

සාමාන්‍යයෙන් අභිෂේකා නිර්මාණය කරන හැම සිංදුවක්ම වගේ ඉතා ජනප්‍රියත්වයට පත්වෙනවා. මොකක්ද ඒකෙ රහස?
”මම මොකක් හරි නිර්මාණයක් කරන්නෙ මට දැනෙනව නම් විතරයි. ගමට නොදැනෙන දෙයක් මම කරන්නෙ නැහැ. ඉතින් මම හිතන්නෙ ඒක තමයි රහස….”
ඔබ ළඟදී අලුත් නිර්මාණයක් කරන්න එහෙම අදහසක් තිබෙනවද?
”මේ කරපු සිංදුවලට වඩා වෙනස් සිංදුවක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනව…”

ගායිකාවක් වගේම ඔබ හොඳ ලේඛිකාවක්. නැවතත් පොතක් එහෙම ලියන්න අදහසක් නැද්ද?
”මං ලේඛිකාවක් නම් නෙවෙයි. තාත්තගෙ ඉල්ලීම නිසා එකම එක පොතක් ලිව්වා. “කර්මජ” කියන ඒ නවකතාව ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලෙ හොඳම නවකතා පොත් 05 අතරට තෝරා පත්කරගනු ලැබුවා. ඒ පිළිබඳව ඇත්තටම සතුටුයි. හැබැයි ආයෙමත් නවකතාවක් ලියන්න නම් දැන්ම වෙලාවක් හොයාගන්න අමාරුයි…”
අභිෂේකා අලුත් වැඩකට මුලපිරුවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ ගැනත් රසිකයන්ට විස්තර කියමු?
”ඔව් ඒ, “අභි ඹ්ඪමඥ ඪද ඛ්ධදජඥපබ” නමින් පවත්වන්නට සැලසුම් කර තිබෙන මගේ ඒක පුද්ගල ප්‍රසංගය. නොවැම්බර් 12 වැනිදා හවස 06.30ට නෙළුම් පොකුණ රඟහලට ආවොත් මේ ප්‍රසංගය නරඹන්න පුළුවන්.”

ඔබ මේ වෙනකන් සංගීත ප්‍රසංග කිසිවකට සහභාගි වෙලා නැහැනෙ. ඇයි හදිසියේම මේවගේ වැඩකට අතගැහුවේ?
”ඇත්තටම මට ඕනෙ වුණේ මුලින්ම මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් සිදුකරන්න. ඉතින් මම හිතන්නෙ මේක තමයි ඒකට හොඳම වෙලාව. දැනට මම ප්‍රසංග කිහිපයක් භාර අරගෙන තියෙනව. ඉස්සරහට තෝරා බේරාගත් ප්‍රසංග කිහිපයකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා.”
ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගය සඳහා සම්බන්ධ කරගන්න සංගීත කණ්ඩායම මොකක්ද?
”මේ ප්‍රසංගයට සංගීතයෙන් දායකත්වය සපයන්නේ, ඕ5, සංගීත කණ්ඩායමයි. බුද්ධික දයාරත්න අයියා ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගි වීමට නියමිතයි.”

මේ ප්‍රසංගය ඔබේ රසිකයන්ට රසවිඳින්න ලැබෙන්නේ කවදාද?
”මේ ප්‍රසංගය නොවැම්බර් මාසෙ මගෙ උපන් දිනේට පසු දවසෙ තමයි පැවැත්වීමට සූදානම් කර තිබෙන්නෙ.”
මේ රසවින්දනාත්මක ගී සංචාරය මුලින්ම රැගෙන යන්න බලාපොරොත්තු වෙන්නෙ කොහෙටද?
”දැනට සැලසුම් කර ඇති විධියට මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයේ විදෙස් සංචාර අතර පළමු නැවතුම්පළ ඕස්ට්‍රේලියාවයි. එහි මෙල්බන් නගරයේ රසික රසිකාවියන් වෙත මේ සෞන්දර්යාත්මක ගී අත්දැකීම තිළිණ කරන්නයි මම බලාපොරොත්තුවෙන් සිටින්නේ.”

ඔබ මවක්, ව්‍යවසායිකාවක්, කෝච් කෙනෙක්, බාහිර කතිකාචාර්යවරියක්, වෛද්‍යවරියක් ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක්ම නියෝජනය කරන කෙනෙක්. ඔබේ රසිකයන්ට මේ අමාරු කාලෙ කියන්න තියෙන්නෙ මොනවද?
”මම හිතන්නෙ පොදුවෙ මිනිස්සු කාටත් පීඩනය නිවාගන්න හොඳම ක්‍රමය තමයි කලාව….. සියදිවි නසා ගන්න සිතෙනව නම් ජීවත් වුණා ඇති කියලා සිතුන වෙලාවට ලියන්න, සිංදුවක් අහන්න, හිත හයිය කර ගන්න. පවුලේ ශක්තිය සමාජයටත්, සමාජයේ ශක්තිය මේ මුළු රටටත් එකතු කරන්න මහන්සි වෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ.”

නදීරා හඳුගල
Source – Hadagasma