උණුසුම් පුවත්
Search
ranil 1 6

”සාලිය කියන දේ සමස්ත නීතීඥ සංගමයේ සමස්ත මතය නෙවෙයි” – ජනපති කැනඩා තානාපතිවරයාට කියයි

161

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මෙරට සිටින තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු අතර ඊයේ (23) පැවති හමුව තුළදී සාකච්ඡා කළ කරුණු මේ වනවිට තවදුරටත් අනාවරණය වේ.

ජනාධිපති කාර්යාලයේ රැදී සිටි අරගලකරුවන් එයින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් තානාපතිවරුන් නිකුත් කළ ප්‍රකාශයන් ගැන ජනපතිවරයා මෙහිදී කණස්සල්ල පළ කර තිබූ අතර ‘ඔබේ රටේත් ජනපති කාර්යාල අවහිර කරනවාට ඉඩදෙනවාද?’ යන පැනය ද විමසා සමාජ මාධ්‍ය තොරතුරු පදනම්ව පණිවිඩ නිකුත් නොකරන්නැයි ජනපතිවරයා ඉල්ලා තිබුණි.

අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයන්ද මෙම හමුවට එක්ව සිටි බව වාර්තා විය.

ජනාධිපතිවරයා සමග නීතිපති ජයන්ත ජයසූරිය, විදේශ අමාත්‍ය අලි සබ්රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ද සාකච්ඡාවට එක්වූ බව වාර්තා විය.

අමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ අරගලකරුවන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ දැක්වූ ප්‍රචණ්ඩත්වය ගැන කනස්සල්ල පළකරන බවයි.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදා ගැනීම සදහා ඇමෙරිකා නීතියට අනුව එරට ආරක්ෂක අංශ ක්‍රියා කළේ ද මේ ආකාරයටම බවයි.

තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටිය දී තම පෞද්ගලික නිවස ගිනි තැබූ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවුඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ද ජනපති උපහාසයෙන් පැවසීය. ”සමාජ මාධ්‍ය ප්‍රධාන කරගෙන කරුණු පටලවගන්න එපා” යයි ද ඇමෙරිකා තානාපතිවරියට ජනපති එම අවස්ථාවේ කියා සිටියේය.

මෙම සාකච්ඡාව අතරතුර කැනඩා තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත්කළ ආකාරය පිළිබඳ සමාජ මාධ්‍ය කරුණු මත පමණක් නොව අනෙක් අය කී දේවල්ද තමන් සැලකිල්ලට ගත් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වා තිබූ බවයි.

ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, එම අවස්ථාවේ රැස්වීමේ සිටි අලි සබ්‍රි මහතාව පෙන්වා කියා ඇත්තේ තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍ය සබ්‍රී ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයන් වන බවයි. ”එයාගෙන් ඕන නම් අහල බලන්න…. ඇත්ත දේ පැහැදිලි කරාවි..” ජනපති කියා තිබේ.

සාලිය පීරිස් පවසා ඇති අදහස ගැන පමණක් අවධානය යොමු කර තීරණ නොගන්නා ලෙසත් එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ පුද්ගලික මතය විය හැකි බැවින් ඒ ගැන සොයා බලන ලෙස වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපතිතුමා හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ ඇමෙරිකා තානාපතිවරිය යහපත් අනාගතයක් සඳහා මර්දනය වෙනුවට රටේ ස්ථාවරය සාදාගන්නට උනන්දුවන ලෙසත් ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඒ සඳහා අවස්ථාවක් මෙන්ම වගකීමක් ඇති බවත් සඳහන් කර තිබුණි.




Leave a Reply

Your email address will not be published.