උණුසුම් පුවත්
Search
india

දීවාලි සැමරුමෙන් පසු ඉන්දියාවට වෙච්ච දේ

205

දිවාලි උත්සවයෙන් පසු වාතයේ ගුණාත්මකභාවය පහත වැටීම නිසා ඉන්දියාවේ අගනුවර වන දිල්ලි වැසියන් විෂ සහිත මීදුම් තත්වයක් හේතුවෙන් පිඩාවට පත් වී සිටියි.

දිල්ලි රජය විසින් පවතින අධික පරිසර දූෂණයට පිළියමක් ලෙස ගිනිකෙළි තහනම් කර තිබියදීත් , නගරයේ ජනතාව ඉරිදා රාත්‍රිය වන තුරු රතිඤ්ඤා පත්තු කරමින් ගිනිකෙළි ක්‍රීඩාවල නිරත වූහ.

දිල්ලිය සති ගණනාවක් තිස්සේ විෂ සහිත වාතය සමඟ සටන් කරමින් සිටියි. රජය විසින් ළමයින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස පාසල් සඳහා ශීත ඍතුවේ මුල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

වසර පුරා සිදු වන වාහන විමෝචනය සහ දූවිලි ඇතුළු සාධක හේතුවෙන් නගරය අධික වායු දූෂණයට මුහුණ දී ඇත.

අසල්වැසි ප්‍රාන්ත වල ගොවීන් විසින් ශීත ඍතුවේ දී සිදු කරන පිදුරු පුළුස්සා දැමීම නිසා මෙම ගැටලුව වඩාත් නරක අතට හැරෙමින් පවතී. අඩු සුළගේ වේගය හා ඉහල දූෂක ප්‍රමාණයක් පහල වායුගෝලයේ අන්තර්ගත වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයන් තීව්‍ර කර ඇති බව ද වාර්තා වේ.

සඳුදා උදෑසන, ෆෙඩරල් පරිසර දූෂණ පාලන මණ්ඩලයේ දත්ත මත පදනම්ව පැයකට යාවත්කාලීන කිරීම් සපයා ඇත. එහිදී දිල්ලියේ අධීක්ෂණ මධ්‍යස්ථාන 37 ක් හරහා වායු තත්ත්ව දර්ශකය (AQI) 200 ට වඩා වැඩි වූ අතර ස්ථාන කිහිපයක කියවීම් 350 ට වඩා වැඩි අගයකින් වාර්තා විය.

AQI තුලින් වාතයේ ඇති පෙනහළු අවහිර කර රෝග රාශියක් ඇති කළ හැකි සියුම් අංශු මනිනු ලබන අතර එමගින් වාතයේ ගුණාත්මකභාවය ගණනය කරනු ලබයි.

දර්ශකයේ 101 සහ 200 අතර මට්ටම් මධ්‍යස්ථ ලෙස සලකනු ලබන අතර, 201 සහ 300 අතර ඒවා දුර්වල ලෙස වර්ගීකරණය කර ඇත. 300 ට වැඩි ඕනෑම දෙයක් “ඉතා දුර්වල” ලෙස වර්ගීකරණය කර ඇති අතර 500 ට වඩා වැඩි අගයක් “දරුණු” තත්වයක් ලෙස සැලකේ.

මෙසේ අධික දූෂණයට දිගු කලක් නිරාවරණය වීමෙන් මිනිසුන්ට අපහසුතා සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැක.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපවාලි සමයේදී රතිඤ්ඤා භාවිතය තහනම් කර ඇති අතර, “හරිත රතිඤ්ඤා” හෝ විමෝචනය අඩු ඒවාට පමණක් අවසර දී ඇත. දිල්ලි රජය ද පසුගිය වසර කිහිපය තුළ දීපවාලි සමයේදී රතිඤ්ඤා තහනම් කර ඇතත්, එම නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා අඩු මට්ටමක පවතී.

ගිනිකෙළි තහනම් කිරීම හින්දු උත්සව ඉලක්ක කර ගැනීමේ උත්සාහයක් බවට ඇතැමුන් තර්ක කරන අතර, මේ නිසා දේශපාලන වාදයන්ද වර්ධනය වී තිබේ.

සඳුදා දිල්ලියේ පරිසර ඇමති ගෝපාල් රායි චෝදනා කළේ, දිල්ලි විපක්ෂයේ සිටින හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) නායකයින් රතිඤ්ඤා පත්තු කිරීමට මිනිසුන් උනන්දු කර ඇති බවයි.

“රතිඤ්ඤා පිපිරවීම නිසා දිල්ලි නගරයේ පරිසර දූෂණය ඉහළ ගොස් තිබෙනවා. බොහෝ දෙනෙක් රතිඤ්ඤා පත්තු කර නැහැ. නමුත් ඇතැම් ස්ථානවල එය ඉලක්කගතව සිදු වූ බව පෙනෙන්ට තියෙනවා ” යැයි ඔහු පැවසීය.

භාරතීය ජනතා පක්ෂයේ නායකයින් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

සිකුරාදා උදෑසන ඇති වූ වර්ෂාවත් සමග සති අන්තයේ දී දිල්ලි නගරයේ පරිසර දූෂණ මට්ටම පහත වැටුන නමුත්, සඳුදා දුර්වල වාතයේ ගුණාත්මකභාවය නැවත ඇති විය.