උණුසුම් පුවත්
Search
gayesha

”ඉගිල්ලෙන මාළුවෝ” නිසා අපහාස වින්ද අපට මෙවර සාධාරණයක් ඉටුවේවි – ගයේෂා පෙරේරා

338

ගයේෂා පෙරේරා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ වගේම කලා ක්ෂේත්‍රයේත් කැපී පෙනෙන චරිතයක්. ඒ වගේම නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන කලා නිර්මාණ වල අභියෝගාත්මක චරිත නිර්මාණයට ඇය දායක වුණු කෙනෙක්. මේ වෙනකොට ගයේෂා පුතා, සැමියා සමග ජීවත්වෙන්නේ නම් ඇමරිකාවේ. ඇය ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඇය දැන් ඒ රටේ ව්‍යවසායිකාවක් ලෙසත් අලුත් පියවරක් ඉදිරියට තබලා.

ඈ ගැන පහුගිය දවස්වල නැවත කතාවෙන්නෙ පටන් ගත්තේ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ආන්දෝලනාත්මක සිනමා පටයක් වුණ බොහෝ වාර ගණනකදී වාරණයට පවා නතු වුණු ඉගිල්ලෙන මාළුවෝ සිනමාපටය නැවත ප්‍රදර්ශනයට එක්වෙන ආරංචියත් සමගයි. එම චිත්‍රපටයේ ඇය නිරූපණය කළ වාසනා නම් තරුණියකගේ චරිතය ලංකා සිනමාවේ අතිශය ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ වගේම ලංකාව වැනි සාම්ප්‍රදායික ආකල්ප රාමුව, බහුතර නියෝජිත ප්‍රේක්ෂකාගාරයක අභියෝගාත්මක චරිතයක් බවට පත්වුණා. ආන්දෝලනයට පාත්‍ර වුණු ඉගිල්ලෙන මාළුවෝ නැවත ප්‍රදර්ශනය වන ආරංචියත් සමග සිනමාවට මෙන්ම ලංකාවේ ප්‍රේක්ෂකාගාරයටත් නැවත මතක් වෙන ප්‍රධාන චරිතයක් වුණු ගයේෂා පෙරේරා සමගයි සංවාදය.

image 189

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ඉගිල්ලෙන මාළුවෝ නැවත සිනමා තිරයට එළිබසිනවා. මොකද හිතන්නේ?

ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය එළිදැක්වීම ඉතාමත් සතුටට කාරණාවක්. හරි චිත්‍රපටය නරඹන්න දැන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබේවි.

මොකක්ද හරි චිත්‍රපටය කියන්නේ?

පහුගිය කාලේ විවිධ අවස්ථා වල ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ කපපු කොටස් එළියට ආවා. ඒක හරි නිර්මාණය නෙවෙයි. මේ වෙනකම් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ඔරිජිනල් එක කොහේවත් එළියට ඇවිත් නැහැ. අප්‍රේල් 04 වැනිදා සිට ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ඔරිජිනල් එක බලාගන්න පුළුවන්.

එහි ඔබේ රංගනය ලාංකීය සිනමා විෂයෙහි අභියෝගාත්මක රංගනයක් වුණා.

එය ඉතා අසීරු කාර්යයක්. ඉස්සර කාලේ අපේ ප්‍රවීණ නළු නිළියන් එවැනි චරිත නිරූපණය කරද්දී සමාජ මාධ්‍ය දියුණු නෑනේ. ඒත් දැන් කාලේ පොඩි දේත් ඇති සමාජ මාධ්‍යවලට, ඉතින් ඒ වෙලාවේ ඒ දේවල්වලට මූණදෙන්න ලේසි වුණේ නම් නෑ. හැමවේලේම මං හිතන්න උත්සාහ කළා මම කළේ සිනමා නිර්මාණයක් බව.

image 190

ඔබ දායක වුණු ඒ චරිත නිරූපණය දිහාවට ආපහු හැරිලා බැලුවොත් දැන් ඔබ ඒ නිරූපණය ගැන දකින්නේ කොහොමද? ඒ ගැන ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම ඔව්. මං වාසනාගේ චරිතයට උපරිම සාධාරණයක් කළා…… එහි මම කළ වාසනාගේ චරිතය නැවත වතාවක් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබීම මගෙත් වාසනාවක්. ‘වාසනා’ කියන්නේ සිංහල සිනමාවට අමතක නොවන චරිතයක් කියලා මට හිතෙනවා.

ගයේෂා නිතර අප්ඩේට් වන චරිතයක් බව අපි නිතර දකිනවා. මේ දවස්වල මොනවද ඔය පැත්තේ සිද්ධවෙන්නේ.

මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ වෙනුවෙන් මමත්, මගේ මහත්තයා හසන්ජිතුත් පසුගිය කාලේ හුඟක් වෙහෙසුණා. දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තමයි අපි පටන් ගත්තේ. ඇමරිකාව වැනි රටක අපේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක්.

image 191

ඊයේ පෙරේදා රන්ජන් රාමනායකත් ඇවිත් ගියා නේද?

ඔව්. ඔහු ඇමරිකාවට ආවේ ආදී නාලන්දීය ඇමරිකා ශාඛාවේ ආරාධනාවකට. ඇමරිකාව වටේම සංචාරයක නිරත වෙන ගමන් අපේ ගෙදරත් ආවා. අපේ ගෙදර මේ පාර අපිත් එක්ක ඔහුත් නත්තල් සැමරුවා……. මගේ මහත්තයත් ආදි නාලන්දියෙක්. ඉතින් රංජන් මෙහෙට ආව වැඩකටයුත්ත වෙනුවෙන් ඔහු එක්ක එකතුවෙන්න ලැබීමත් අපිට සතුටක්.

රන්ජන්ගෙයි ඩිලානිගෙයි වුණාය කියන පැටලිල්ල මොකක්ද?

අනේ දන්නේ නෑ. වුණ දේ ඒ දෙන්නා තමයි ඉතින් දන්නේ…… රන්ජන් ඒ ගැන මාධ්‍යයෙන් කතා කරලා තිබ්බා. ඒ ප්‍රශ්නය ඔහුගෙන් ඇහුවොත් හොඳයි කියලා මට හිතෙනවා.

image 192

අලුත් කලා නිර්මාණයක් එක්ක එළියට එන අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. බලමු.

දැන් කාලයක් ඔබ ඇමරිකාවේ ජීවත් වුණානේ. ලෝක සිනමාව ගැන සමීපව ඇසුරු කරන්න අත්දකින්න එහෙම අවස්ථාව ඔබට ලැබෙන්න ඇතිනේ. ඒත් එක්ක බලද්දී මොකද හිතන්නේ ලංකාවේ සිනමාව ගැන…?

ලෝක සිනමාව දවසින් දවස තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙනවා. මේ යන විදිහට අපේ සිනමාව විතරක් නෙවෙයි. අපේ රටත් ගොඩදාගන්න කාලයක් ගතවේවි. සිනමාව කරන අය මෙහෙන් සිනමාව ඉගෙන ගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් අපේ අයත් එහෙම ලොකුවට ඉගෙන ගන්න පාටක් නැහැ.

image 186

ඒ කියන්නේ නැවත මේ රටට ගොඩ බහින්න හිතක් නැද්ද?

රට ගැන විශාල දුකක් තියෙනවා. මිනිස්සු පව්. මගේ වපසරිය තුළ මං මට පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා.

සෑහෙන වාර ගණනක් තහනමට ලක්වෙලා. විවිධාකාර වාරණ පැනවුණු ඉගිල්ලෙන මාළුවෝ… දැන් ටිකක් පරණ කතාවක්නේ. ඉතින් ප්‍රේක්ෂකයාගේ උණුසුම් වැලඳගැනීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද?

ඉගිල්ලෙන මාළුවෝ කියන්නේ පුදුමාකාර ආයුෂ තියෙන චිත්‍රපටයක්. කිසිම සිනමාපටයක නමක් මෙච්චර කතා කරලා තියෙනවද කියලා මං නම් දන්නෑ. ඉගිල්ලෙන මාළුවෝ නියමම චිත්‍රපටය නරඹන්න නම් ඔන්න මෙදා සැරේ ප්‍රේක්ෂකයාට සිනමාහලට යන්න කියලත් මතක් කරනවා.

image 187

සංජීව පුෂ්පකුමාර වැනි නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක් යටතේ ඔබ එදා රංගනයෙන් එකතුවීම පිළිබඳ මතකය දිගෑරියොත්,

සංජීව දක්ෂයෙක්. ඒක මං ඔහු හමුවුණ මුල්ම දවසේම දැනගත්තා. ඔහු නිර්මාණය කළ නිර්මාණ අතර ඉගිල්ලෙන මාළුවෝ ඔහුගේ අංක එකේ නිර්මාණයක්. ඔහු ඒ නිර්මාණය වෙනුවෙන් බොහෝ වෙහෙසුණා. ඒ නිර්මාණයේ මගේ චරිතය නිවැරැදිව එළියට අරගන්න ඔහු බොහෝ කැපකිරීම් කළා. ඒ වගේම මට ඒ චරිතය සාර්ථකව නිරූපණය කරන්න ඒ චරිතය වටා මා සමග සිටි අනෙකුත් සියලුම නළු නිළියන් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. ‘අන්තිමේදී ඒ සිනමා නිර්මාණය එළිදැක්වුණාම ඒකට අපහාස වින්ද අපිට වගේම අධ්‍යක්ෂවරයා වූ ඔහුටත් මේ පාරවත් නිසි තැන ලැබිය යුතුයි.

ගයේෂා, රංජනුත් ඇවිල්ලා ගියේ. ආපහු ඡන්දෙටවත් ඉල්ලන්න කියන්නද?

අපොයි නෑ. මං ආයේ නම් එහෙම තීරණ ගන්න එකක් නෑ.

දැන් මගේ දේශපාලකයා මමම තමයි. මට දැන් මං කැමැති විදිහට කෙනකුට උදව් කරගෙන ඉන්න පුළුවන්. කරින් කර ගැටිලා දේශපාලනය කරන්න දැන් මට කිසිම අභිලාෂයක් නෑ.

image 188

ඔබේ සැමියා හසන්ජිත් ගැන ඇහුවේ නැත්නම් සම්පූර්ණ නෑ වගේ. හසන්ජිත් කලාවට සම්බන්ධ වුණු කෙනෙක්නේ. නැවත අලුත් සිංදුවක්වත් අපිට දෙන්න ඔහුට අදහසක් නැද්ද?

සින්දුවක් නම් නැවත කරන එකක් නැතිවෙයි. හැබැයි එයා කියපු සින්දු ගෙදර පාටිවලදී අපි දෙන්නා කොයිවෙලේත් ගයනවා. මිනිස්සුන්ට උදව් උපකාර කරන්න හසන්ජිත් පුදුම සංවේදී කෙනෙක්. පුළුවන් හැම අවස්ථාවකදීම එයා ඒ දේවල් වෙනුවෙන් තමයි වැඩිපුර උනන්දු. ඒ නිසාම ඒ කරන හොඳ එයාට ආපහු ලැබෙනවා. සතුටුයි මට එයා ගැන.

image 193