උණුසුම් පුවත්
Search
king family

”රජපවුලක්‍ අපිට එපා” – බ්‍රිතාන්‍යයේ තරුණයින් කියයි

542

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් වසරක් ගෙවීමට ආසන්න කාලයේ සිදුකල සමීක්ෂණයකට අනුව හෙලිදරව් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ තරුණ පරම්පරාවෙන් 70% පමණ රජ පවුල ප්‍රතික්ෂේප කරන බවයි.

විවිධ වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් 2000ක් යොදා ගනිමින් සිදුකල සමීක්ෂණය අනුව සමස්තයක් ලෙස තවමත් 62% බ්‍රිතාන්‍යයේ රාජආණ්ඩුව පිලිගන්නා නමුත් එම මතය තුල පැහැදිලි පරම්පරා බෙදීමක් ඇති බව සමීක්ෂණය සිදුකල ආයතනය ප්‍රකාශ කරනවා.

සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් අතරින් වයස අවුරුදු 18 ත් – 24ත් වයස් කාණ්ඩයේ පුද්ගලයන්ගෙන් 30% පමණක් රටට රාජාණ්ඩුවක් අවශ්‍ය බව ප්‍රකාශ කරන නමුත් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් අතරින් 77% ක් රාජාණ්ඩුවක් යහපත් බව පිලිගනු ලබනවා.. සමස්තයක් ලෙස සමීක්ෂණ නියදිය පෙන්නුම් කරන්නේ බ්‍රිතාන්‍යයේ ජනතාවගෙන් 62% රාජආණ්ඩුව අවශ්‍ය බව ප්‍රකාශ කරන අතර 26% බ්‍රිතාන්‍යයට ඡන්දයෙන් පත්වන නායකයෙකු අවශ්‍ය බව සඳහන් කරනවා. පුද්ගලයන් අතරින් 11% මධ්‍යස්ථ මතයක් දරණ බවද ඔවුන් සඳහන් කරනවා.

එංගලන්තයට සාපේක්ෂ ස්කොට්ලන්තයේ සහ වේල්සයේ ජනතාව රාජකීය පවුල පැවතීම කෙරෙහි අඩු සහයෝගයක් දක්වන අතර රටේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව ලන්ඩන් නුවර ජීවත් වන ජනතාව රජ පවුල කෙරෙහි වඩා වැඩි සහයෝගයක් ප්‍රකාශ කරනු ලබනවා. ඒ අතර චාල්ස් රජු සිංහාසනයට පත්වී වසරක් ගෙවෙන අවස්ථාව වන විට 59% ක් තවමත් රජු තමන්ගේ කාර්‍ය්ය මැනවින් ඉටුකරන බවයි වාර්තා වන්නේ.

තිලාන් ජයසේකර