කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ මෙවර වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර හා ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් මහත්වරුන් 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් අතරට පත්ව තිබේ.
මේ සඳහා වූ සම්මාන ප්‍රදානය කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ කුමාර නවරත්නගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ.
මහාචාර්ය රුවන්පුර මහතා ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශාරදයකු වන අතර සම්මානලාභී විද්වතෙකු ද වේ. එතුමා කැල්ගරි විශ්වවිද්‍යාලයේ උප පරිපාලන නිලධාරී, සහකාර උප සභාපති (පර්යේෂණ/ ජාත්‍යන්තර) සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ද වේ. ඔහු ශාස්ත්‍රීය ජයග්‍රහණ, පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ජාත්‍යන්තර ජාතික, පළාත් සහ නාගරික සම්මාන ද දිනා ඇත.
ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් මහතා විශ්වවිද්‍යාල සෞඛ්‍ය ජාලයේ ටොරොන්ටෝ පුනරුත්ථාපන ආයතනයට අනුබද්ධිත සම්මානලාභී ශාරීරික වෛද්‍ය විද්‍යා සහ පුනරුත්ථාපන වෛද්‍යවරයෙකු සහ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහයක මහාචාර්යවරයකු වේ. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකි. කැනඩාවට සංක්‍රමණය වීමට පෙර, ආචාර්ය ගුලසිංහම් මහතා ශ්‍රී ලංකා ජාතික පුනරුත්ථාපන රෝහලේ ප්‍රධාන කායික වෛද්‍යවරයා ලෙස සේවය කළේය. ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටු වර්ගීකරණය හිමි ජාතික මට්ටමේ ලෝක – පැරා මළල ක්‍රීඩා සහ ලෝක පැරා – නර්තන ක්‍රීඩා පුහුණුකරුකවෙකි.