උණුසුම් පුවත්
Search
20 20 ausi

ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භයටත් පෙර ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙක් තරග සංචාරයෙන් ඉවතට

521

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් ඇබෝර්ට් හට ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, පුහුණුවීම් අතරතුර දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ඔහු ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ මේ වන විට ආරම්භ වී ඇති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පමණක් වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්ව සිටියා.

20යි 20 තරගාවලියෙන් පසුව ඔහු ඔස්ට්‍රේලියානු A සංචිතය සමග එක්වීමටයි නියමිතව සිටියේ.

ශෝන් ඇබෝර්ට් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට ආදේශ කිරීමට එරට ක්‍රිකට් ආයතනය මෙතෙක් තීරණය කර නැහැ.

මේ අතර, ඔස්ට්‍රේලියානු A කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා තරග සංචාරයට එක්ව සිටින පීටර් හැන්ඩ්ස්කොම්බ් පෞද්ගලික හේතුවක් මත යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට තීරණය කර තිබෙනවා.

ඔහු වෙනුවට Jimmy Peirson ඔස්ට්‍රේලියානු A සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, අපේක්ෂා කළ කාලයට පෙර වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බව ද එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු සිව්දින තරගය සදහා ඕස්ට්‍රේලියානු A කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම සදහායි.

මීට පෙර ඔහු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයින් සමග මෙම මස අවසානයේ දී දිවයිනට පැමිණීමටයි සූදානමින් පසුවුණේ.

එමෙන්ම කැමරන් ග්‍රීන් හා ඇලෙක්ස් කෙරී ද ඔස්ට්‍රේලියානු A සංචිතයට නම් කිරීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඔවුන් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට ඇතුළත්ව සිටියද, A සංචිතය සදහා මීට පෙර ඇතුළත් කර තිබුණේ නැහැ.

ඇලෙක්ස් කෙරී ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා A හා ඔස්ට්‍රේලියානු A කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් එක්දින තරගාවලිය හෙට එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published.