ලංකාවේ ගායන ක්‍ෂේත්‍රයට වෙනම ආරක හැඩයක් ගෙන ආ ඇය නමින් රයිනි චාරුකා ගුණතිලක. රයිනි ගැන මෑතකදී ප්‍රචාරය වෙන්නේ ඒ තරම් සුබවාදී පුවතක් නෙවෙයි. ඒ ඇය තනිකඩ දිවියට පිවිසිලා කියන කතාව. මේ වෙනකොට ඒ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. අපේ රටේ ප්‍රකට සංගීත පවුලකට උරුමකම් කියන රයිනි සමඟ කළ කතාබහක උපුටනයක් තමයි මේ.
අලුත් වැඩකටයුතු මොනවාද?
මගේ Short Film එකත් සමඟ කාර්යබහුලයි. මම ගෘහස්ථ – එළිමහන් යන ප්‍රසංග දෙවර්ගයම සමබරව කරගෙන යන නිසා ප්‍රසංග රැසකටම ආරාධනා ලැබෙනවා.
ඔබගේ Short Film එක ගැන කීවොත්?
එය “කඳුළට හිත බය හින්දා – The Series Season – 01.” නිෂ්පාදනය මගේ. අධ්‍යක්ෂණය ධනුෂ්ක රත්නායක මහතාගේ. මෙය “කළුවරට හිත බය හින්දා” මගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ කතාව තවදුරටත් වැඩිදියුණු කිරීමක්. එවැනි දෙයක් කරපු ලංකාවේ පළමු ආර්ටිස් මමයි. මෙහි මා, දර්ශන් තලවරාජා, මනුරංග විජේසේකර, අංජුලා මනතුංග (දිල්හානි ඒකනායක මහත්මියගේ දයාබර ලේලිය) සහ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම සිටිනවා. නොවැම්බර් 30 වැනිදා එය එළිදක්වනවා.

The Voice Teen වැඩසටහනේ කෝර්ච් කෙනෙක් විධියට දෙවතාවක්ම වැඩ කළ එකම ආර්ටිස් ඔබද?
ඔව්. මට ඒ වාසනාව ලැබුණා. තරගාවලියේ සංවිධායක මඬුල්ල මා තුළ කුමන හෝ විශේෂත්වයක් දුටු නිසා The Voice Teen ඉඥචඵධද _ 02 සඳහාත් මා සම්බන්ධ කර ගන්න ඇති.
The Voice නම් ජාත්‍යන්තර තරග වේදිකාව ලංකාවට හඳුන්වාදීම ගැන මොකද සිතෙන්නේ?
The Voice සන්නාමය ලංකාවට ආ එකම විශාල ජයග්‍රහණයක්. එවැනි දැවැන්ත ජාත්‍යන්තර වේදිකාවක් නිර්මාණය වීම පිළිබඳ රටක් ලෙස මට ආඩම්බරයක්. එයට සහභාගි වුණු දරුවනුත් හරි වාසනාවන්තයි. තරගකරුවෙක් Blind Auditionවලාට පෙර ඔඩිෂන් කිහිපයකටම මුහුණ දෙනවා. මෙහිදී ගීත ගායනය පමණක් නෙමෙයි, තම ජීවිතයට වැදගත් වන බොහෝ දේවල් දරුවන්ට ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකය ජය ගන්න යන ගමනක්. මෙයට අවුරුදු 12-19 අතර ගායනයට පමණක් 100%ක්ම සර්ව සම්පූර්ණ දක්ෂතා සහිත දරුවන් පමණක් නොවේ, විවිධ දක්ෂතා ඇති දරුවන් සහභාගි වෙනවා. ඔවුනට ලංකාවේ ප්‍රසිද්ධම නාළිකාවක් සමඟ වැඩ කරන්නටත් හැකියි. කුඩා වයසින්ම එවැනි විශාල අවස්ථාවක් ලැබීමත්, කුඩා වයසින් තම ඉලක්ක කරා යෑමට මාර්ග විවෘත වීමත් ජයග්‍රහණයක්.

රයිනි චාරුකා කියන්නේම සංගීත කේෂ්ත්‍රය තුළ බ්‍රෑන්ඩ් එකක් නේද?
මම කවදාවත් මගේ මවුපියන්ගේම තවත් කොපියක් වුණේ නැහැ. ඔවුන් මවුපියන් නිසා ඔවුන්ගේ ආභාසයන් මිශ්‍ර වීමක් මා තුළ තිබුණත් මටම අනන්‍ය වූ කැරැක්ටර් එකක්, Personality එකක් වගේම මටම ආවේණික ඉලක්ක සහ සිහින ටිකතුත් තිබෙනවා. ඒ සියල්ලේම එකතුවෙනුයි රයිනි චාරුකාව නිර්මාණය වන්නේ. මට උපතින් ලැබුණු කිසිවක් ලංකාවට ගැළපෙන විධියට මම වෙනස් කළේ නැහැ. ඔබට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනෑ නම් තමන්ටම ආවේණික ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න සෑම විටම තමන් තමන්ට අවංක වෙන්න, තමන් තමන් විධියටම පෙනී සිටින්න මේ ක්‍ෂේත්‍ර තුළ නමක් රඳවන්න පුළුවන් වෙන්නේ අපි අපිම වුණොත් පමණයි. සාර්ථකත්වය කියන්නේ තමන් තමන් වෙන එක මිස ක්‍ෂේත්‍රය තුළ මවාපෑමක් සමඟ ජීවත් වීම නෙමෙයි. එවිට ජීවිත නඩත්තු කිරීම හරි පහසුයි. අමුතුවෙන් මවාපාන්න දෙයක් ඒ තුළ නැහැ.
ඔබ ගැයූ ගීත සියල්ලම ඉතාම ජනප්‍රිය වුණා. ගීත තෝරා ගැනීමේදී සැලකිලිමත් වන කාරණා මොනවාද?
ගීතය මට ලස්සන නම්, දැනෙනවා නම් මම ඒක කරනවා. ඒ ගීය Slowද Fastද යන දෙය මට අදාළ නැහැ. අතිශය බර වචන සහ අතිශය සරල වචන තිබෙන ගීතවලටත් මම කැමැති නැහැ. මගේ තේරීම ඒ දෙක අතර මැදිව ගලායන වචන සහිත ගීත. මගේ ගීත පොදුවේ සෑම වයස් සීමාවකටම, සෑම වර්ගයකම ගීතවලට ප්‍රිය කරන පිරිසට ගැළපිය යුතුයි. එක් ශෛලියකට කොටු වෙන්න මම කැමැති නැහැ. මම තමයි අදටත් ලංකාවේ Reggae ශෛලියට ගීත ගායනා කරන එකම කාන්තා නියෝජනය. Reggae ශෛලිය ප්‍රිය කරන ප්‍රජාව ඇතුළේ “Princess of Reggae’’ යන අන්වර්ථ නාමයත් මට පටබැඳී තිබෙනවා. ජය ශ්‍රී වගේම චින්ති සමඟ කළ කාන්දම් දෑස, චරුමිනි ඔච්චම් ගීත දෙකත් Reggae. නීල කඳු ගැටේ සින්දුවත් එහෙමයි. මගේ අනෙක් සින්දු හැම එකක්ම Reggae ශෛලියට ප්ලේ කරන්න පුළුවන් සින්දු.
ඇතැම් නවකයන්ට ගීත ගායනා කිරීමේ හැකියාවක් නැතැයි චෝදනාවක් තිබෙනවා නේද?
ඇතැමෙක්ට 100%ක්ම සින්දු කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තාක්ෂණය හෝ වෙනත් ක්‍රමයක් උපයෝගි කොටගෙන සින්දු කීමටත්, යම් රසාස්වාදයක් උත්පාදනය කිරීමටත් දක්ෂතාවක් තිබිය යුතුයි. ජාත්‍යන්තරය තුළ එවැනි අතිශය ජනප්‍රිය ආර්ටිස්ලා ඕනෑ තරම් සිටිනවා.
සාර්ථක ආර්ටිස් කෙනෙක් වීමට 100%ක් දක්ෂතාව තිබිය යුතු නැහැ. රසිකයන් පිනවීමේ හැකියාව, නර්තය, ගායනය වැනි කුමක් හෝ ඔබ සතු නම් කලාව තුළ තම පැවැත්ම නිර්මාණය කරමින් බ්‍රෑන්ඩ් එකක් විය හැකියි. ලංකාව තුළත් එවැනි ආර්ටිස්ලා ඕනෑ තරම් සිටිනවා.

පසුගිය කාලයේ රටේ පැවැති වාතාවරණය ඔබට දැනුණේ කොයි ආකාරයටද?
රට දාලා යන්න වෙයිදෝ කියන බිය ඇති වුණා. මේ වන විට අපි යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තිබෙනවා. ඒ දේවල් ඉදිරියට කරගෙන යන්නේ කෙසේද යන චකිතයත් ඇති වුණා. නමුත් මා උපයාගත් දෙයින් යමක් ඉතිරි කරගත් නිසා සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන යෑමට එය ප්‍රමාණවත් වුණා. දැන් නැවතත් රට යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.
ඉදිරියට එන්න තිබෙන නිර්මාණ මොනවාද?
ගිය නොවැම්බර් මාසයේ කළුවරයට හිත බය හින්දා ගීතය හා වීඩියෝව එළිදැක්වුණා. ළහිරු පෙරේරා සමඟ තව ගීත 02කුත්, තවත් අලුත් ගීතයකුත් කළා. ඒවා ඉදිරියේදී ඒවි.
ඔබ ජීවිතය හා ආදරය සම්බන්ධව යම් ආකාරයක සිත් තැවුලකින් පසුවන බව පැවැසෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුණා. ඇත්තටම මොකක්ද ඒ පිටුපස ඇති සෑබෑ කතාව?
මා ආදර සම්බන්ධතාව ගොඩනඟා ගත්තේ අවුරුදු 18ක් වැනි කුඩා වයසින්. ඔහු මට වඩා අවුරුදු 07ක් වැඩිමහල්. අපි යාළුවෙලා අවුරුදු 13කුත්, විවාහ ජීවිතය තුළ අවුරුදු 06කුත් එකට ගත කළා. ඔහු ඇත්තටම හරිම හොඳ හදවතක් ඇති ගෞරවනීය චරිතයක්. නමුත් අපි හැමෝම මිනිස්සු. ජීවිතයේ අපි සිතන – පතන විධිය වයසත් සමඟ වෙනස් වෙනවා. දරුවන් සහ වෙනත් හේතු මත ජීවිතයේ ඇතැම් සිදුවීම්, පීඩන ඉවසමින් පවුලක් විදියට එකට සිටිය හැකි අවස්ථා තිබෙනවා. ලෝකයට පෙනෙන්නට එසේ කරන අයත් සිටිනවා. දෙදෙනෙක් අතර නොගැළපීම්, මත-භේද ඇති නම්, ලස්සන කපල් එකක් විධියට පිටතට පෙනෙන්න පමණක් ඉඳලා වැඩක් නැහැ. ජීවිත ලස්සනට ඉදිරියට ගලාගෙන යෑමට පර්සනල් ලයිෆ් එක තුළ ගැළපීමත් තිබිය යුතුයි. මම ආදරය උපරිමයෙන්ම බලාපොරොත්තු වන අයෙක්. නමුත් ජීවිතයට ආදරය පමණක්ම ප්‍රමාණවත් නැහැ. අප තුළ තිබෙන ආදරය අනෙකාට පෙන්වීමටත් දැනගත යුතුයි. මට කුඩා කල සිට ආදරය උපරිමයෙන් ලැබුණා. මම අතිශය සංවේදියි. මා මුහුණදුන් ප්‍රශ්න හමුවේ පසුගිය කාලයේ මා අධිකව මානසික ආතතියට පත්වුණා. එනිසා පෞද්ගලික හේතු කාරණා 02ක් මත මම ජීවිතයේ එක්තරා වැදගත් තීරණයක් ගත්තා.

නැවතත් ඔබට දැනෙන විධියේ ආදරයක් ලැබේවි කියා විශ්වාසයක් ඔබට තිබෙනවාද?
අනිවාර්යයෙන්ම. මට නම් ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ. එනිසා අනාගතයේ දිනෙක මම නැවතත් ආදරයක් විඳීවි, ආදරය කරාවි. නමුත් නැවත විවාහයකට යයිද කියන එක නම් නිශ්චිතවම කියන්න බැහැ. ආදරණීය බැඳීමක් පවත්වාගෙන යෑමට විවාහ විය යුතුම නැහැ.

දිනූෂා මනෝරි නිශ්ශංක