උණුසුම් පුවත්
Search
madhavee

”ඇත්ත හංගලා වැඩක් නෑ, අපි නීතියෙන් වෙන් වෙන්න තීරණය කළා” – නිහඬතාව බිඳිමින් මාධවී කියූ කතාව

4875

රටක් ආදරේ කරන ජැක්සන් ඇන්තනී නම් සොඳුරු රංගධරයාගේ එකම දියණිය මාධවී වත්සලා. පසුගිය වසරේ සිදුවූ හදිසි රිය අනතුර හේතුවෙන් ගතවුණු කාලයම ඇන්තනී පවුලට සුබ කාලයක් නෙවෙයි. ඒ අතරතුර මාධවීගේ ජීවිතේ ගැනත් විටින් විට සමාජ මාධ්‍යවල පුවත් පළවුණා. ඒ නිසාම හිතුවා මේ හැම දෙයක් ගැනම මාධවී එක්ක කතා කරන්න.

2023 පටන් ගන්නෙම අභියෝග එක්ක නේද…?

කාලයක් නිහඬව හිටපු මම හිතුවා ඒ නිහඬ බව බිඳින්න ඕනෙ කියලා. මම හිතන්නෙ ජීවිතේ කියන්නෙම ඒ බාධක අභියෝග වලට මුහුණදෙන එක. ඒක කාටත් පොදු ධර්මතාවයක්. එක එක්කෙනාට ලැබෙන අහියෝග වගේම ඒවාට මුහුණදෙන අවස්ථාවෙදි මනස ක්‍රියා කරන විදිහ වෙනස්. හැමෝම ප්‍රතිචාර දක්වන්නේ එක විදිහට නෙවෙයි. හැමෝගෙම ලැබීම් නොලැබීම් දෛවයේ ලියැවිලා තියෙන්නේ වෙනස් විදිහට. මේ ප්‍රශ්න වලට අවට අය ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයට. ඉතින් මේක අතෑරලා දාන එක හෝ නිෂ්ක්‍රීය වෙලා සමාජයේ වපර ඇස්වලින් හැංගිලා ඉන්න එක වඩා ලේසියි කියල හිතෙන වාර අනන්තව තිබුණා. නමුත්, එහෙම නොකර හුස්ම අල්ලන් බලාපොරොත්තු දල්වාගෙන සටන් කරන්න හිතන එකටයි ජීවත් වෙනවා කියන්නෙ. 2023 මට මගේ ජීවිතේ කිසිදාක නැති තරම් හැලහැප්පීම් කඩා වැටීම්වලට මූණදීපු වසරක්. කතාවටත් කියනවනෙ අඩියටම වැටුණාට පස්සෙ ආයෙ වැටෙයි කියලා බය වෙන්න දෙයක් නෑ කියලා. සැප දුක, ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, යස අයස කාට වුණත් මේ තියෙනවා, මේ නැති වෙනවා. ආයෙ එන්නත් පුළුවන්.

image 115

මේ වෙද්දි නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂකයන් අතරට එනවා නේද…?

මේ දිනවල තුෂාරි අබේසේකර අධ්‍යක්ෂණය කරන චන්දෝලි ටෙලි නාට්‍යය ඔස්සේ හැම සතියේ දවසකම රාත්‍රි 7.30ට විකාශනය වෙනවා. එහි ලන්නි කියන චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව කසුන් මහේන්ද්‍ර හීනටිගල රචනා කර රූප රචනා අධ්‍යක්ෂණය කළ, මගේ ස්වතන්ත්‍ර ගීතය ‘අපි තමයි අපිව දන්නේ’ ගීතය මගෙ යූටියුබ් නාළිකාවෙ සහ රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍යවල ප්‍රචාරය වෙනවා.

මේ වෙද්දි අප්පච්චිගෙ තත්ත්වය කොහොමද?

අප්පච්චිව අමතක කරලා අපිට ගමනක් නෑ. අප්පච්චි පසුගිය ජූලි මාසයේ දෙවැනිදා නොසිතූ අනතුරකට ලක් වෙලා සැත්කමකට ලක් වෙලා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. අති දක්ෂ වෛද්‍යවරුන් අතින් සිදු කෙරුණු සැත්කම ඉතාම සාර්ථක වුණා. අප්පච්චි අපි එක්ක කතා කළා…. විහිළු කළා. නොනවත්වා සින්දු කිව්වා. අපි බලන්න ගිය වෙලාවට මට ඔළුව අතගාන්න කිව්වා. අත් කකුල් මිරිකන්න කිව්වා. මෙහෙම ඉඳපු අප්පච්චිට ජූලි මාසෙ අග දවසක දවාලේ රෝහලේදී තවත් අනපේක්ෂිත හදිසි තත්ත්වයක් ඇතිවුණා. ඒ සිට මේ දක්වා අප්පච්චි ඉතා සෙමෙන් වුවත් සාර්ථක ලෙස සුව වෙමින් සිටිනවා කියලා මම විශ්වාස කරනවා.

image 118

සමහර ප්‍රශ්න හමුවේ, අප්පච්චි ළඟ නැතිවීම කොයි තරම් හිතට දැනුණද?

අප්පච්චි මගෙ යාළුවා. අප්පච්චි එක්කයි මම මගෙ හැම ප්‍රශ්නයක්ම හැඟීමක්ම බෙදාගත්තෙ. මෑතකදී අසනීප වුණාම රෝහලට ගියෙත් අප්පච්චි එක්ක. එයා කන්න ආසම මම උයන කෑම. අප්පච්චි මට දුන්නු අගය නිවාස දේපළ යාන වාහන මිල මුදල් නෙවෙයි. ඒ දේවල් ලොකු ලොකු දායාද මට ඇත්තෙම නෑ. හැබැයි අප්පච්චි මට ලොකු දක්ෂතාවක් දුන්නා…. අම්මා – අප්පච්චි ගොඩක් කාර්යබහුලය ජීවිතයක් ගත කළේ. අප්පච්චි අපට කුඩා කාලෙම ඒ බව කිව්වා. අපි පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනෙ කියලා. අපේ අම්මට මා වෙනුවෙන් කැපවෙන්න වෙලාව නැති නිසා හය හත වසර වෙනකන් මං හැදුණේ අත්තම්මා ළඟ. මගෙ 2 වසර පන්තිභාර ගුරුතුමී මාව හදාගන්නත් ඉල්ලුවා.

විශේෂයෙන් මම එකම ගැහැනු දරුවා විදිහට ඒ වෙනස වහගන්න පුරුදු වුණේ මම නිතර දැකපු මල්ලිලා වගේ වෙලා. කොල්ලෙක් වගේ හැසිරිලා ඒක මට පළිහක් කරගන්න උත්සාහ කළා. ඒත් ඒ හැසිරීමෙන් මම මට සිදු කරගත් වරද මට දැන් වැටහෙනවා. හරියට ‘එල්’ බෝඩ් ගහන්නෙ නැතුව පාරට දාපු වාහන වගේ වුණා. අපි ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන්. අප්පච්චි අපට ඉන්න පර්චස් දහයක පොඩියට ගෙයක් හදාගත්තෙත් 2005 දී. එතකල් අපට හරියට ඉන්න තැනක් තිබ්බෙත් නෑ. අම්මගෙ රැකියාව නිසයි මුල් කාලෙ අපේ පවුල නඩත්තු වුණේ. ඒක වෙන්න ඇති එයා ඒක අතාරින්න අකැමැති වුණෙත්. අද මගේ පෞරුෂය තීරණය වෙන්න කුඩා කාලෙ මගේ අත්දැකීම් හේතු වෙන්න ඇති. කොහොම වුණත් අප්පච්චිට ඒ අනතුර වෙන්න කාලෙකට කලින් සිට මං මුහුණ පා සිටි විවිධ ජීවිත අපහසුතා ගැන එයාට දැනුම්දීලයි තිබුණෙ.

image 116

“මොනවා කරන්නද පුතා ඔහොම ඉන්න බෑනෙ. කෙනකුට එක වතාවකට වඩාත් වරදින්න පුළුවන්. අපි ජීවිතේ හදාගමු” ඒ අප්පච්චිගෙ වචන. ඒත් එයා නිහඬ වුණාට පස්සෙ මම තනි වුණා. මොකද තනි මගෙන් අවස්ථාවාදී අයට ලැබෙන වාසියක් නැති නිසා වෙන්න ඇති. මට සැනසීමෙන් ඉන්න හිටින්න පවා තැනක් නැති වුණා. ඒත් මේ යුගයේදීම තමයි මට ජීවිතේ විශ්වාසවන්ත, ආදරණීයම මිනිස්සු කවුද කියලා හඳුනගන්නත් පුළුවන් වුණේ. මම හිතන්නෙ අප්පච්චි නොදැනුවත්ව හෝ මේ කළේ මාව ශක්තිමත් කරපු එක. මම සම්පූර්ණයෙන් අප්පච්චි මත පදනම්ව ජීවිතේ තීරණ ගන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. එයාගෙන් විවරණ නොගෙන මට කිසි දෙයක් හරියට කරගන්න බෑ වගේ අදහසක් මා තුළ තිබ්බා. ඒත් පහුගිය කාලෙදි මට ස්වාධීනව මගෙ මාර්ගය සොයාගත්තා. ආයෙ අප්පච්චි කතා කරන දවස වෙද්දි මම හිටියට වඩා දස දහස් ගුණයක් ශක්තිමත් ගැහැනියක්. අප්පච්චිට එහෙම දෙයක් වෙච්ච එක දරාගත්තු මට වෙන ඕන දෙයක් දරාගන්න දැන් පුළුවන්.

image 117

ජීවිතේ බැඳීම්, ආදරේ වගේ දේවල් ගැන මාධවීට දැනෙන්නෙ කොහොමද?

මම හිතන්නෙ ආදරේ කිසි කෙනකුට නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ගැහැනියක් පිරිමියෙක් අතර ඇතිවෙන සරල හැඟීමක් ලෙස මම සීමා කරන්න කැමැතිත් නැහැ. මට අනුව ආදරේ නම් හේතුවක් නැතුව අපිට ඇස් දිහා බලලා සුහදව හිනාවෙන්න පුළුවන් වෙන්න ඕනෙ. පුංචි බබාලා එක්ක අපි හිනා වෙන්නෙ. අන්න ඒ වගේ. තරහෙන් හිටියත් කරුණාව උපදින්න ඕනෙ. ප්‍රේමය ගැන මං දන්නා හොඳම පැහැදිලි කිරීම තමයි ශුද්ධ බයිබලයේ, කොරින්ති 13 කොටස. ‘ප්‍රේමය සියල්ල උසුලයි, ප්‍රේමයේ විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත. ප්‍රේමය සදාතනිකය. මම බාලයෙක්ව සිටිය කල බාලයකු මෙන් කතා කළෙමි, බාලයකු මෙන් සිතුවෙමි, බාලයකු මෙන් කල්පනා කළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි. දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයයි’ ඔච්චරයි.

image 111

සමාජයේ බැඳීම් නැතුව මට නම් තනියෙන් ජීවත් වෙන්න බෑ. මෑතකදී මට තිබුණු බැඳීම් අඩු වුණා. ඉස්සර මම කවුරු මට කොහොම සැලකුවත් ඉවසාගෙන හැමෝගෙම වුවමනා හොයාබලා හොඳින් උදව් කරගෙන කැප වෙලා හිටියා. ඒත් ඒ අය මාව අවභාවිත කරපු නිසාත්, මට උදව් ඕනෙ වෙලාවෙදි පිටුපාපු නිසාත්, මම එවැන්නන්ට වෙනස් වෙන්න තීරණය කළා. මගෙ කවය කුඩා වුණා. ඒත් ඒ ඉන්න ටික දෙනා මට ජීවිතය තරම් වටිනවා. මම පුළුවන් තරම් ජීවිතේ සුබවාදීව දකින්න උත්සාහ කරනවා.

මාධවී නැවත දික්කසාද වීමක් ගැන පැතිරෙනවා…?

මම කැමති වුණත් අකමැති වුණත් ඇත්ත සැඟවීමෙන් පළක් නැහැනේ. මොකද අපි අමරණීය නැහැ. ජීවිතේ කල් ඉකුත් වෙන කොටස් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරලා බැරි නම්, නොපමාව තීරණ ගත යුතුයි. ජීවිතේ අස්වද්දන්න උත්සාහ ගන්න ඕන. විවිධාකාර මතගැටුම්, නොගැළපීම්, නොරිස්සුම් සහ හිත් රිදුම් අවසානයේදී නීතියෙන් වෙන් වෙන්න තීරණය කළා…. අපි දෙන්නම මුල සිටම මේ නොගැළපීම් නිසා බොහෝ චිත්ත පීඩා වින්දා. දැන් අපි නිදහස්. මෙහෙම වෙච්ච පළමු කෙනාවත් අවසාන කෙනාවත් මම නොවන බව නොරහසක්. සර්වකාලීන සත්‍යයක්. කවුරුත් හිතාමතා එහෙම කරදර දාගන්නෙ නැහැනේ. අනික වණේ නැතුව දුක නොදන්න අය මිසක් කවුරුත් මේ වගේ දෙයක් විහිළුවකට ගන්නෙවත් විනිශ්චය කරලා ලේබල් ගහන්නෙවත් නැහැ. මම ඔහුට සුබ පතනවා.

ජනප්‍රිය වීම නිසාම සමහර ප්‍රශ්න කටකතා ගොසිප් නිර්මාණය වෙනවා වැඩියි නේද…?

මම ජනප්‍රියද කියන එක තීරණය කරන්නෙ මම නෙවෙයි, මගෙ රසිකයන්. හැබැයි එහෙම ජනප්‍රිය වුණා කියලාත් අපිට වෙන දේවල් ඒ අයට වෙන්නෙ නැද්ද? අපටත් ඒ වගේම දුක හිතෙනවා. රිදෙනවා. ඒත් අපට සාපේක්ෂව ඒ අයගෙ ජීවිත ගැන හොයන්න උනන්දු වෙන පිරිස අඩුයි. අපි ගැන අපිවත් නොදන්න ඕපාදූප ගොසිප්වල තියෙනවා. අනික රසික ප්‍රජාව හැමෝම ඒවා පිළිගන්න තරම් මෝඩ නැහැ. දැන් ඔවුන් බහුතරය දූපතෙන් එහා ලෝකය දැකලා හරිම බුද්ධිමත්. තවත් මම දැකපු දෙයක්, මම ජරාවාසව, දුක්මුසු ඡායාරූපයක් පළ කරනවාට වඩා සතුටින්, සුන්දරව ඉන්නා එකක් පළ කළාම විවේචනයට ලක් වෙනවා වැඩියි. ඒකෙන් එවැන්නන්ගේ චෛතසිකය ගැන හුඟක් දේ කියවෙනවා. කොහොමත් කොච්චර ‍යහපත කළත් එක වරදක් කළොත් ඒක විතරයි සමහර අයට මතක.

image 112

මගෙ සහෝදරයන් ඔවුන්ගේ අඹුදරුවන් සමග හෝ තනිව විනෝදාංශ අතරතුර හෝ විනෝද ගමන් ගිහින් පින්තූර පළ කරද්දි සතුට පළ කරන සමහර රසිකයන්ට මම එසේ කළොත් කේන්ති ‍යනවා. සමහර විට ඔවුන් මගේ කතාව සම්පූර්ණයෙන් දැනගෙන හිටියා නම් මේ තරම් නිර්ධය නොවන්නට ඉඩ තිබුණා.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදි මම කෙළින් කතා කරන කෙනෙක්. නමුත් එයින් බොහෝ දෙනාගේ පුද්ගලිකත්වය නිරාවරණය වෙලා ඔවුන් ලෝකය ඉදිරියේ ගොඩනගාගෙන තියෙන ප්‍රතිරූප හානි වෙන නිසා මට එහෙම කරන්න බැහැ. ඉතින් මම මුනිවත රකින්න අදහස් කරනවා. අනික බහුතරයක් නරක කොමෙන්ට් දාන ගිණුම් බොරු ඒවා. එළියට පෙන්නන චරිත නෙවෙයි හුඟක් අයගෙ ඇත්ත. අපි තේරුම් ගන්නෝනෙ අපට හැමෝවම සතුටු කරන්න බැහැ කියලා. අනික දැන් ඉස්සර වගේ ඒවා නිකම්ම නිකං කැලෑ පත්තර නෙවෙයි. දැන් අන්තර්ජාලය නිසා ඕපාදූපවලටත් මිලක් තියෙනවා. ඒ වගේ හිත් රිදෙන අමූලික බොරු ගොසිප් දැක්කම හිතනවා මට මඩක් ගහලා කවුරුහරි අප්පච්චි කෙනෙක් තමුන්ගෙ දුවට පුතාට කෑමබීම බේත්හේත් අරන් දෙනවා ඇති කියලා.

image 113

ජීවිතේ ගැන, ආ මග ගැන තෘප්තිමත්ද…

නැහැ. දශක තුනකට වඩා ආයු වළඳලාත් මම තවමත් පුංචි කාලෙ සෙල්ලම් බත් උයද්දි දැකපු කුටුම්බ හීනයවත් හැබෑ කරගෙන නැහැ. මම හිතන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු නිසා කලාවට යෙදවෙන්න කාලය නැති වුණා. කලා කටයුතු වලට යෙදවෙන්න කාලය වැය කළාම රැකියා අවස්ථා වලට සමුදුන්නා. මේ විදිහට විවිධ ඇරියස් කවර් කරන්න හැල්මෙ දුවන අතරේ මට මගෙ ජීවිතේ මිස් වුණා. ජීවිතේ කෙටියි…. අපි හිතන පරක්කුවට ගෙවිලා යනවා. මං ආසයි මං මැරෙන දවසක තනිකමක් නැතුව ගෙවන්න. එදාට මම ලෝකෙ හොඳම නිළිය වුණත්, දක්ෂම ගායිකාව වුණත් පළක් නැහැ මට තනිකමක් දැනෙනවා නම්. ඉතින් නැහැ මම තෘප්තිමත් නැහැ.

image 114