ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය වීමට ටික වේලාවකට පෙර ඒ මහතාගේ දුරකථනයට ලැබී තිබූ සැකකටයුතු ඇමතුම් කීපයක් ඔස්සේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇත. මේ අතර ඝාතනයට ලක්වූ ශාෆ්ටර් මහතාගේ මෝටර් රථයේ තිබී සැකකටයුතු ඇඟිලි සලකුණු 14ක් ද පොලිසිය සොයාගෙන තිබේ.
ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රිකට් විස්තර විචාරයේ යෙදෙන ක්‍රිකට් විචාරකයකු සමග පැවති මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ශාෆ්ටර් මහතා ඝාතනය කර තිබූ බොරැල්ල කනත්ත ප්‍රදේශයේ සීසීටීවී කැමරා කිසිවක් සවිකර නොතිබීම විමර්ශනවලට විශාල බාධාවක් බව පොලිසිය පවසයි.කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දසදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ක්‍රිකට් විචාරකයා ශාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 400 ක පමණ මුදලක් ණයට ලබාගෙන ඇති අතර එම මුදල් ආපසු ගෙවා නැත. මෙම මුදලින් රුපියල් කෝටි 180ක් ආපසු ගෙවන ලෙස වානිජ අධිකරණයකින් ක්‍රිකට් විචාරකයාට නියෝගයක් ද කර තිබිණි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කීපයක් ද ගොනුකර තිබී ඇත.ශාෆ්ටර් මහතා නිවසින් පිටවී ඇත්තේ අදාළ ණය මුදල සම්බන්ධයෙන් කතා කිරීමට ක්‍රිකට් විචාරකයා හමුවීමට යන බව සිය බිරිඳට පවසමින්ය.ඊට පැයකට පමණ පසු ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසල මෝටර් රථයේ සිටියදී සොයාගත් අතර ඒ මහතාගේ දෑත් දෙපා ගැටගසා ගෙල වයරයකින් සිරකර තිබී ඇත.පසුව ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙ අතර මෙම සිදුවිම සම්බන්ධව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.ඒ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවය.එලෙස ප්‍රකාශ ලබාගත් පිරිස අතර කතාබහට ලක්වු ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා ද සිටී.මේ වනවිට ඒ මහතාගේ විදෙස් ගමන් ද තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබේ.