පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට බ්‍රිතාන්‍යට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බව ඉන්දීය පුවත් සේවයක් වන ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම 10 දෙනා අතුරින් ජූඩෝ ක්‍රීඩිකාවක්, ඇයගේ පුහුණුකරු සහ මල්ලවපොර ක්‍රීඩකයෙක් පසුගිය සතියේ අතුරුදහන් වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.
කෙසේ වෙතත් ඔවුන්ගෙන් ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වන්නේ.
බි‍්‍රතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයාගත් නමුත් ඔවුන් දේශීය නීති උල්ලංඝණය නොකළ නිසාත් මාස 06ක් වලංගු වීසා බලපත්‍ර රඳවාගෙන තිබූ නිසාත් ඔවුන්ට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බව සඳහන්.
කෙස් වෙතත් කණ්ඩායම හැර ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියළු දෙනා ඔවුන්ගේ තරග ඉසව් වලට සහභාගී වී මෙලෙස අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.
මෙරට තුළ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ රැකියා සොයා ගැනීමේ අරමුණින් ඔවුන් කණ්ඩායමෙන් පැනයන්නට ඇතැයි බලධාරීන් විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 161 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් කණ්ඩායමක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වී තිබෙනවා.
විදේශීය තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම රටවල නතරවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරාම වාර්තා වී ඇති අතර ලෝක ශූරතා තරගාවලියට ඔස්ලෝ ගිය ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අතහැර කලමනාකරු අතුරුදන් වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි.
දකුණු කොරියාවේ පැවති 2104 ආසියානු ක්‍රීඩා උලෙලට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් ද එලෙස අතුරුදන් වුණා.
එසේම ශ්‍රී ලංකාවේ අත් පන්දු ක්‍රීඩාව නොතිබූ 2004 වර්ෂයේදී 23 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජර්මනියට ගොස් අතුරුදන් වීමේ සිද්ධිය පදනම් කරගනිමින් පසුකාලීනව සම්මානිත චිත්‍රපටයක් පවා නිර්මාණය කරනු ලැබුවා.