ලොව සුප්‍රසිද්ධ සුබෝපභෝගී භාණ්ඩ අලෙවි සන්නාමයක් වන ප‍්‍රංශයේ LVMH සහ Louis Vuitton සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන බර්නාඩ් ආර්නෝල්ට් සිය පෞද්ගලික ජෙට් යානය අලෙවි කර ඇතැයි පවසනවා.
එම ජෙට්යානය සම්බන්ධයෙන් ට්විටර් (Twitter) සමාජ මාධ්‍ය ජාලය තුළ එල්ල වන අදහස් සහ චෝදනා වලට බිය වී ඔහු මෙලස එය අලෙවි කිරීමට පියවර ගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.
සුප්‍රසිද්ධ බිලූම්බර්ග් වෙබ් අඩවියට අනුව බර්නාඩ් අද වන විට ලොව දෙවැනි ධනවතා ද වනවා.
LVMH සමාගමට අයත් ගුවන්විදුලි නාලිකාවක් හරහා අදහස් දැක්වීමක් සිදුකරමින් බර්නාඩ් පසුගිය දා මේ පිළිබදව අනාවරණය කර තිබේ.
“අපගේ සමූහය සතුව ගුවන්යානයක් තිබුණා. ඒත් දැන් අපි එය විකුණලා.”
ලොව ධනවතුන් සතු මෙවැනි පෞද්ගලික ජෙට් යානා හේතුවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ආසන්න කාලසීමාවේදී ඇතිවිය. ඒ අනුව බර්නාඩ්ගේ මෙම තීරණයට ද හේතුව එය බව පැවසෙයි.
දැනටමත් ඔහුගේ මෙම ජෙට් යානය යන එන ගමන්බිමන් පිළිබදව සොයා බැලීම සහ ඉන් සිදුවන පරිසර දූෂණය පිළිබද තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් Twitter සමාජ මාධ්‍ය තුළ ගිණුම් තුනක් ආරම්භ කර ඇතැයි ද සදහන් වෙයි. ගුවන්විදුලි නාලිකාව වෙත වැඩිදුරටත් අදහස් දක්වා ඇති බර්නාඩ්, “මගේ ගුවන්යානය විකුණුවා කියන්නේ කාටවත් මම කොහේද යන්නේ කියලා හොයන්න බැහැ. මොකද මට පෞද්ගලික ගුවන්යානයක් වුවමනා වෙලාවට මම එකක් කුලියට ගන්නවා.” යනුවෙන්ද පවසා තිබේ.
මේ අතර පසුගිය මාස කිහිපයේදී ද ප්‍රංශ පොහොසතුන් සතු පෞද්ගලික ජෙට් යානා සහ ඒවා මගින් සිදුවන පරිසර දූෂණය සම්බන්ධයෙන් ප්‍රංශ පාර්ලිමේන්තුව තුළද අවධානය යොමු වී තිබුණි.
එසේම මෙම පොහොසතුන් සතු පෞද්ගලික ජෙට් යානා සම්බන්ධයෙන් තහනමක් පනවන ලෙසට ද ප්‍රංශ පාර්ලිමේන්තු සභිකයන් කිහිපදෙනෙකුම රජයන් ඉල්ලා තිබුණි. මෙලස බර්නාඩ් සතුව තිබූ පෞද්ගලික ජෙට් යානය අලෙවි කිරීම සම්බන්ධයෙන් රූපවාහිනි නාලිකාවක් වෙත අදහස් දක්වා ඇති ඔහුගේ පුත්‍රයා වන ඇන්ටෝනි ආර්නෝල්ට්, පසුගිය කාලසීමාවේදි එම යානය සම්බන්ධයෙන් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය තුළ සිදුකළ අදහස් දැක්වීම සහ චෝදනා අසාධාර බව පවසා තිබේ.
එසේම මෙලෙස සිය පෞද්ගලික ජෙට් ගුවන්යානය අලෙවි කිරිම් තවත් ප්‍රධාන හේතුවක් වූයේ තමන් යන එන ගමන් පිළිබද තොරතුරු සිය තරගකරුවන්ගෙන් වසන් කර තැබීමටත් බවත් ඔහු පවසා තිබේ.
“කිසිම මොහොතකදිවත් අපි කොහේද යන්නේ, මොකද කරන්නේ කියන දේ අපේ තරගකරුවන් දැනගන්න හොද නෑ. ඒත් මේ ට්විටර් සමාජ මාධ්‍ය නිසා එය සිදුවුණි. එවැනි අවස්ථාවක් ලබාදීම ව්‍යාපාරයක් විදියට අපිට හොද නෑ.” ඔහු පවසා ඇත.
1949 වසරේ උපත ලද බර්නාඩ් ආර්නෝට් සතු වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 151.3කි.
ආසන්න කාලයේදී ඔහු සතුව තිබූ මෙම පෞද්ගලික ජෙට් ගුවන්යානය 7500-E-GVMA bomber මාදිලියේ යානයකි. මේ 75000-F-GVNIA bomber යානය ව්‍යාපාරික පත්තියේ ජෙට් යානාවක් ලෙස වඩාත් ප්‍රසිද්ධය. එහි එක්වරකට මගීන් 19 දෙනෙකු යා හැකි අතර, වේගය පැයට කිලෝමීටර් 982කි. එසේම එක් අවස්ථාවකදී කිලෝමීටර් 14,260ක දුරක් පියාසර කිරීමට එයට හැකිය. එදා සිටම ඔහු පෞද්ගලික ජෙට් යානයක් භාවිත කළ අතර, සිය ව්‍යාපාරික ගමන් බිමන් මෙන්ම ව්‍යාපාරික හමු පැවැත්වීමටද මෙම යානය භාවිතා කළේය. එහෙත් තනි පුද්ගලයෙකු සදභා අධික ඉන්ධන වචනයක් සිදු කරමින් ගුවන්යානයක් වෙන් කිරීම පරිසරයට සිදුකරන හානියක් බව පරිසර සංවිධාන චෝදනා කර සිටියි.