ඊයේ (07) දින ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන ලබාගන්නට පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සරසවි සිසුවෙකු මියයාමේ සිදුවීමක් වාර්තා වනවා.
මෙහිදී මියගොස් ඇති සරසවි සිසුවා ඉන්ධන පෝලිමේ සිටි අයෙකු නොවන බවයි හෙළිවන්නේ.
ඔහු කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයකු බව සඳහන්.
මෙම සරසවි සිසුවාගේ මිතුරෙකු දින 04ක් තිස්සේ ඉන්ධන ලබාගැනීමට වාහනයක නතරව සිටි අයෙකු වන අතර යාළුවා හමු වී කථාබස් කිරීමට සරසවි සිසුවා ගොස් ඇත්තේ තවත් දෙදෙනෙකු ද සමගයි.
එම දෙන්නා වාහනය හිමිකරුගේ සොයුරා හා බිරිඳ බව ද දැනගන්නට ලැබේ.
මොවුන් සාමීචියේ යෙදීම සඳහා අසළ පිහිටි හෝටලයකට ගොස් ඇත්තේ වාහනය පෝලිමේ නවතා තිබියදීය. හෝටලයෙන් තේ බී නැවත වාහනය අසළට එන අවස්ථාවේ දැකගන්නට ලැබී ඇත්තේ නතර කර ඇති වාහනයට ඉදිරියේ ඇති හිඩැසට වෙනත් වාහනයක ඇතුළු කර ඇති බවකි. එම වාහනයට ඉඩ ලැබී ඇත්තේ මෙකී වාහනය ආසන්නයේ ඉදිරියේ වෙළෙඳසලක පිවිසුමක් පැවති නිසා ඉඩ ඉතිරි කර නවතා තිබුණ නිසාය. වාර්තාවන ආකාරයට අදාළ වාහනය එම වෙළෙඳසලට සම්බන්ධ එකකි.
මෙම අවස්ථාවේ සිදුව ඇත්තේ බලවත් අසාධාරණයක් බවත් දින 04ක් තිස්සේ වාහනය නවතාගෙන පෝලිමේ සිටින තම වාහනය ඉදිරියට පෝලිම පැන වෙනත් වාහනයක් දමා තිබීම වරදක් බවත් වාහන හිමියා තර්ක කර තිබේ. සිද්ධිය වන අවස්ථාව වනවිට ඉන්ධන හලට මීටර 200කට තරම් ආසන්නයට පෝලිම පැවති නිසා ඉන්ධන ලබාගැනීමට ලැබෙන අවස්ථාව සොරාගන්නට ඉිදිරිපස අය උත්සාහ කර තිබේ.
ඒ අවස්ථාවේ වාහනය දැමූ පුද්ගලයා වාදයක පැටලී ඇති අතර සිය වාහනය ඉවත් නොකරන බවට තර්ජනය කර ඇත. එම අවස්ථාවේ එකී පුද්ගලයා සමග යහළුවා වෙනුවෙන් කථා කිරීමට හා ගැටුමකට යන්නට සරසවි සිසුවා පියවර ගෙන තිබේ.
අනතුරුව වාහනය බලහත්කාරයෙන් දැමූ පුද්ගලයා පිහියක් ගෙනවිත් සරසවි සිසුවාට ඉන් ඇන ඝාතනය කර තිබේ. සිද්ධිය අවස්ථාවේ පොර බැදීම නිසා සරසවි සිසුවාගේ වාහන හිමි යාළුවාත් එම සොයුරාත් පහරදුන් පුද්ගලයාත් තුවාල ලබා ඇත. ගැබිනියක බව පැවසෙන අනෙක් කාන්තාව ගැටුම අවස්ථාවේ ඉවත්වී ඇත. පිහි ඇණුම සිදුකර ඇත්තේ ගාල්ල, දෙවට ප්‍රදේශයේ නමගිය ‘චණ්ඩින්‘ බව ද වාර්තා වේ.
සිදුවීම සම්බන්ධ පොලිස් වාර්තාව පහතින්.