උණුසුම් පුවත්
Search
harshana

”දුව නිසා ‘තාත්තා’ කියන තනතුර මට සුන්දර වඟකීමක්” – හර්ෂණ බෙත්මගේ

339

තරුණ පරම්පරාවේ රසික රසිකාවියන් පමණක් නොව වැඩිහිටි පරපුරේ රසික රසිකාවියන්ගේ ආදරයද නොමඳව හිමිවන ඔහු හර්ෂණ බෙත්මගේ. කලා කෞශල්‍යයෙන් පිරි ඔහු තරුණ රංගන ශිල්පියෙක්. මේ දිනවල විකාශය වන ‘ජානු’ ටෙලි නිර්මාණය තුළින් ඔබ හමුවට එන ඔහු දැන් පුංචි දියණියකගේ ආදරණීය තාත්තා කෙනෙක්. මේ කතාබහ උපුටා ගන්නේ හදගැස්ම පුවත්පතේ සාකච්චාවකින්.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

”ජීවිතේ හරිම සුන්දරව ගෙවනවා…. මගේ ජීවිතයේ සුන්දරම කාලය උදාවෙලා තිබෙන්නේ දැන් කියල තමයි මට හැඟෙන්නේ. මට දැන් චූටි දියණියක් ඉන්නවා. එයාට තාම මාස හතරයි. මගේ ජීවිතේ වටිනාම කාලයක් ගත කරන්න ලැබීම ගැන දැනෙන්නේ සතුටක්….”

No photo description available.

බොහොම කාලෙකින් නේද නැවතත් ටෙලිනාට්‍ය කලාව පැත්තට යොමුවුණේ?

”ඔව්. ඇත්තටම ටික කාලයක් කලාවෙන් අෑත්වෙලා හිටියා. වැඩ වලට ආරාධනා ලැබුණෙත් නැහැ. මම වැඩිය සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක් නොවන නිසා මට අවස්ථා නොලැබෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. ආරාධනා කිහිපයක් ලැබුණා. ඒ අතරින් තෝරාගත් නිර්මාණ කිහිපයකට මම සහභාගි වුණා. නිර්මාණ තෝරාගැනීමේ දී එහෙම ලොකුවට චරිත තෝරන කෙනෙක් නෙවෙයි මම. දැන් නැවතත් මාව රූපවාහිනි තිරයේ දකින්න ලැබෙන නිසා සුපුරුදු පරිදි ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙනවා.

මේ දිනවල නිරත වන කලා කටයුතු ගැන කතා කළොත්?

”හසුන් සමීර අධ්‍යක්ෂණය කරන ‘ජානු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘කාසි’ ටෙලිනාට්‍යයත් ‘සංසාරිණී’ ටෙලිනාට්‍යයෙත් මේ දිනවල රූපගත කිරීම් සිදුවෙනවා. මියුසික් වීඩියෝ කිහිපයකටත් සම්බන්ධ වුණා. මට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මියුසික් වීඩියෝ සඳහා.”

No photo description available.

කුලුඳුල් පිය පදවිය ලැබීම ගැන ඔබට කොහොමද දැනෙන්නේ?

”ඇත්තටම ඒ දැනෙන හැඟීම වචනයෙන් කියල නිම කරන්න බැහැ. අපි ඉස්සර හිතන්නේ තාත්තා කෙනෙක් කීවම වගකීම් වැඩියි කියල විතරයිනේ. ඒක අපට දැනෙනවා අඩුයි….. නමුත් තාත්තා කෙනෙක්ගේ වගකීම හරියටම දැනෙන්නේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඒ හැඟීම මට දැනුණේ මගේ දුව මේ ලෝකෙට බිහිවුණ දවසේ. තාත්තා කියන තනතුර මට සුන්දර වගකීමක්. සමහර අවස්ථා වල අපිට විශාල කැපකිරීමක් කරන්න සිදුවෙනවා. හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවන් වෙනුවෙන් ඒ කාලය ගත කරනවා. එවැනි කැපකිරීම් කළ යුතු අවස්ථා මටත් තිබෙනවා. මම ඒ අවස්ථා හරිම වගකීමෙන් සහ කැමැත්තෙන් සුන්දරව ඉටුකරන්න කැමැතියි. අපි කුඩා කාලයේ හිතනවා අපේ ළමා කාලය තමයි හොඳම කාලය කියල. තරුණ කාලෙදි හිතනවා තරුණ කාලය හොඳම කාලය කියල. නමුත් මගේ ජීවිතයේ මම පිය පදවිය ලබපු මේ කාලය තමයි මම කැමැතිම කාලය. හැම මවුපියෙක්ටම මේ කාලය උරුම විය යුතුයි…”

No photo description available.

කොහොමද මේ දිනවල ඔබත් ඔබේ බිරියත් සමඟ එක්ව සිදුකරන ව්‍යාපාර කටයුතු වල තත්ත්වය?

”මමත් බිරියත් එක්ව ව්‍යාපාරයක් කළා. පසුගිය කොරෝනා සමයේ එය තාවකාලිකව නැවැත්වුවා. දියණියගේ වැඩකටයුතු එක්ක ටික කාලයක් ගතවුණාට පසුව එහි ස්වභාවය වෙනස් කර නැවත අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ කාලය සම්පූර්ණයෙන් අපි කැප කරල තිබෙන්නේ අපේ දියණිය වෙනුවෙන්. දැන් අපේ එකම ව්‍යාපාරය බවට පත්වෙලා තිබෙන්නේ අපේ චූටි දියණිය. උදේ සිට රෑ වනතුරු එයාගේ වැඩ කටයුතුවල තමයි අපි නිරත වෙන්නේ.”

No photo description available.

රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන්නට අදහසක් තිබෙනවාද?

”ඔව්. මම සම්බන්ධ වුණ සිනමා නිර්මාණයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. තවත් සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල ඒ නිර්මාණ වලටත් දායක වුණා. ඉදිරියේදී සුරංග ද අල්විස් මහතා අධ්‍යක්ෂණය කළ ‘කිඩ්නැප්’ සිනමා නිර්මාණය තිරගත වෙනවා.”

කාලෙකට පසුව ‘ජානු’ තුළින් රසිකයන් හමුවට පැමිණි ඔබට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

”කාලයක් නිහඬව සිටියත් මියුසික් වීඩියෝ නිර්මාණවල පෙනී සිටියා. ඒ ලැබුණ ආදරය, සෙනෙහස තාමත් එහෙමම රසිකයන්ගෙන් ලැබෙනවා. ජානු ටෙලිනාට්‍ය විශේෂයෙන් දේශීය පමණක් නොවේ විදේශීය වශයෙනුත් ජනප්‍රසාදයට පත්වී තිබෙනවා. එය ඉතා සාර්ථක නිර්මාණයක් බවට පත්වෙලා තිබෙන නිසා එහි රඟදක්වන සියලුදෙනාට ඒ ලැබිය යුතු ප්‍රතිචාර එලෙසින්ම ලැබෙනවා. මේ දවස්වල ඉතා හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබීම ගැන සතුටුයි.

No photo description available.

වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් තිබෙනවද?

”මට විශේෂයෙන් වේදිකා නාට්‍ය වලට ආරාධනා ලැබිල නැහැ .එස්.අයි. සමරක්කොඩි නිර්මාණය කළ ‘කොන්ක්‍රීට් ආදරය’ නමැති කෙටි වේදිකා නාට්‍යට සම්බන්ධ වුණා. මම හරිම කැමැතියි වේදිකා නාට්‍යවල රඟපාන්න. ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. වේදිකාව කියන්නේ නළුවෙක්ට හොඳ තෝතැන්නක්. බලාපොරොත්තුවෙන් ඉන්නවා වේදිකා නාට්‍ය පැත්තෙනුත් ඉදිරියට යන්න.”

ඔබේ ආදරණීය බිරියගෙන් කලා කටයුතු වලට ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු නේද?

”ඇත්තටම ඇය මට මානසික නිදහස උපරිමයෙන් ලබාදෙන හොඳ කෙනෙක්. නිදහස් මනසක් තිබිය යුතුයි කලා නිර්මාණ වලට සහභාගි වෙන්නත්. එවැනි නිදහස් මනසක් ලැබෙන්න නම් අපිට ලැබෙන සහකරු හෝ සහකාරිය බලපානවා. ඇය දියණියගේ වැඩකටයුතු වල නිරත වෙලා හිටියත් මගේ කෑම ටික, ඇඳුම් ටික පවා සූදානම් කරනවා. ඇය මගේ ජීවිතයට ලොකු සහයෝගයක් දෙනවා….”

No photo description available.

ආදරණීය බිරිය හා සුරතල් දියණිය සමඟ ගෙවෙන ජීවිතේ කොහොමද?

”අපි තුන්දෙනා හරිම සරලව, සතුටින් නිදහසේ ජීවිතය ගත කරනවා. අපි තුන්දෙනාගේ ලෝකේ සිහින ගොඩක් පොදිබැඳගෙන ලස්සනට ජීවත්වෙනවා….”

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

”ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට අමතරව ඉතින් අපේ චූටි දියණිය සම්බන්ධව තමයි බලාපොරොත්තු ගොඩක් තිබෙන්නේ.”

No photo description available.

චතුරිකා රාජපක්ෂ