උණුසුම් පුවත්
Search
lotus tower

නෙළුම් කුලුණ බලන්න පුළුවන් වෙලාව වෙනස් වෙයි

68

නෙළුම් කුලුන නැරඹීමට මහජනතාවට ලබා දී ඇති කාලය වෙනස් කර තිබෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ පවසනවා.

ඒ අනුව සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකියි.

සති අන්තයේ එම කාලය වෙනස් කර ඇති අතර ඒ අනුව උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකි වනවා.

එසේම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් ඉදිරියට නිකුත් නොකරන බවත් ඒ අනුව එය නැරඹීම සඳහා නිකුත්කරන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500ක් වන බවත් ඔහු පවසනවා.

පසුගිය සැප්තැම්බර් 15 වනදා සිට මෙය මහජන ප්‍රදර්ශනයට විවර කෙරුණා.

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුණ ලෙස සැලකෙන නෙළුම් කුලුණ චීන ණය මත, චීන සමාගම් විසින් ඉදි කරනු ලැබූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඉදිකිරීම් අරඹනු ලැබුවකි.

පසුව නෙළුම් කුළුණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සුරතින් නිල වශයෙන් විවෘත විය.

කොළඹ අහස සිඹිමින් නැග සිටින ‘නෙළුම් කුළුණේ’ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදී වන අතර චීන සමාගමක් විසින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ද සම්බන්ධය ඇතිව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.

ප්‍රධාන වශයෙන් රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේශණ ස්ථානයක් ලෙස මෙම කුළුණ භාවිත කිරීමට නියමිත අතර ඊට අමතරව උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියකින් ද මෙය සමන්විත වේ.