උණුසුම් පුවත්
Search
wedding

පාසල කලින්ම වහලා ගුරුවරු මඟුල් ගෙදර ගිහින්

209

පාසලේ විදුහල්පතිනියගේ පුත්‍රයකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා වැලිඔය, ගජබාපුර, ගජබාපුර, පරණගම විදුහල 10 වනදා වේලාසනින්ම වසා දමා ඇතැයි තොරතුරු වාර්තා වනවා. වැලිඔය, ගජබාපුර පරණගම විදුහලේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කරන විදුහල්පතිනියගේ පුතාගේ සහ එම පාසලේම ස්වේච්ඡා ගුරුවරියක සේවය කරන මනාලියගේ විවාහ මංගල උත්සවය 10 දහවල් පැවැති අතර ගුරුවරුන් ඊට සහභාගිවීමට ප්‍රාථමික අංශයේ සිසුන් පෙරවරු 10.30ට ද ඉහළ පන්ති වල සිසුන් පෙරවරු 11.00ට පමණ ද නිවෙස්වලට පිටත්කර යවා ඇතැයි ද දෙමව්පියෝ පවසති.

විදුහලේ ආචාර්ය මණ්ඩලය පෙරවරු 10.30ට පමණ විදුහලෙන් පිටව ගොස් ඇති බව පැවසේ.

11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ සිසු දරුවන් 200කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවත්, ගුරුවරුන් 20කට ආසන්න පිරිසක් සේවය කරන බවත් වාර්තා වේ.

විදුහල්පතිනියගේ පුත්‍රයකු එම පාසලේම ගුරුවරියකට විවාහ කරදීමේ මංගල උත්සවයක් වෙනුවෙන් පාසල වේලාසනින්ම වසා දැමීම පමණක් නොව මෙදින පාසලට පැමිණි සිසු දරුවන්ට ඉගන්වීම් කටයුතු නොකර සෙල්ලම් කරන්නට දී ගුරුවරුන් මංගල උත්සවයට සූදානම් වෙමින් සිටි බව දෙමවුපියෝ කියති.

ඉතා කටුක ජීවිතයක් ගත කරමින් පාසල් යවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක් දිනක් හෝ කඩාකප්පල් වීම ශෝචනීය බවද ගම්වැසියෝ කියති.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප එම පාසලේ විදුහල්පතිනිය වන ආර්.කේ. ඇනස් ශ්‍රියාලතා මහත්මියගෙන් විමසූ අතර ඇය කීවේ ‘’ ඔයා ඔය ගැන දැනගන්න සඳුදාට පාසලට එන්න. ඔයා වැලිඔය ඉන්නව නම් සම්පත්නුවර මගුල් ගෙදර අපි ඉන්න තැනට එන්න යනුවෙනි. අප එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාරේ දී හෝ හමු වී කතා කරමු යැයි විදුහල්පතිනිය කීවාය.

මේ සම්බන්ධයෙන් අප මුලතිව් සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගනේෂ්ලින්ගම් මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “ගජබාපුර පරණගම විදුහලේ ගුරුවරුන්ට වෙඩින් එකට යන්න කියලා වේලාසනින්ම වහන්න අවසර දීලා නෑ. අපි දැනුවත් කරලත් නෑ. එහෙම අවසරයක් දෙන්නත් බෑ. එහෙම වසා දැම්ම නම් එය නීති විරෝධියි. ඒ ගැන මා සොයා බලා අවශ්‍ය කටයුතු කරනවා…” යැයි ඔහු පැවසීය.

හේමන්ත රණසූරිය

Gossip Lanka News