පසුගිය දා විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව කටයුතු කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක රාජකාරී කරන කාර්යාලයට අද (16) දහවල් පොලිසිය පැමිණ සීල් තබා තිබේ.
එහි සේවකයින් ඉවත්කර අධිකරණ නියෝගයක් අනුව එම මුද්‍රා තැබීම සිදු කරන බව දන්වා තිබේ.
කොල්ලුපිටියේ ශාන්ත මයිකල් පාරේ බීඕසී මර්චන්ට් ගොඩනැගිල්ලේ මෙම ආයතනය පිහිටා තිබේ.
ඊයේ විදුලි බිල විශාල ලෙස ඉහළ නංවන්නට රජය කටයුතු කළ අතර ඊට විරුද්ධව විවිධ පියවර ගනිමින් සටනක නිරතවූයේ ජනක රත්නායක ය. පසුව ඔහුගේ කොමිසම් සාමාජිකයින් භේද කර විවිධ උපක්‍රම යොදා පමාවෙමින් පැවති තීන්දුව කෙසේ හෝ ලබාගන්නට රජය පියවර ගත්අතර කොමිසමේ අනෙක් සාමාජිකයින් තමන්ට පාලනය කළ නොහැකි මට්ටමට පත්වූ පසුව විදුලි බිල නංවන තීන්දුව කෙසේ හෝ රජය ලබාගත් බව ඔහු පවසා තිබුණි.
මේ අතර විදුලි ගාස්තු වැඩි කිරිම රජයක් ගන්නා අපහසුම තීරණක් බවත් මේ පිළිබඳව කනගාටුවට පත්වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
අභ්‍යන්තර ආරංචි හෙළි කරන්නේ විදුලි බලය පුද්ගලීකරණය කිරීමට පෙර එය ලාභ ලබන ව්‍යාපාරයක් බවට හරවා ලබාදෙන ලෙස අදාළ ගැනුම්කරුවන් රජයෙන් ඉල්ලා සිටි නිසා මෙම විශාල මිල වැඩිකිරීම සිදුකර ඇති බවයි.