උණුසුම් පුවත්
Search
aurudu kreeda

අවුරුදු ක්‍රීඩා 02ක නම් වෙනස් වෙයි

257

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හි දී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම” සහ ”අන්ධයාට කිරි කැවීම” යන තරඟ ද්විත්වය “වාසනා මුට්ටිය බිඳීම” සහ ”සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියලුම බැංකු විසින් අවුරුදු උත්සව 1,089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවයි.

“කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමගින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි.

ඒ වගේ ම සියලු ම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා.”