උණුසුම් පුවත්
Search
kasuni kavindi

”ජීවිතයේ වැදගත්ම දේ කසාද බඳින එක නෙමෙයි” – කසුනි කාවින්දි

197

කසුනි කාවින්දි වේදිකාවෙන් පුංචි තිරයට ගොඩවුණ දක්ෂ රංගන ශිල්පිනියක්. තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ දම්මි, නාඩගම්කාරයෝ නාට්‍යයෙහි රසිකා වැනි චරිත තුළින් ඇය ප්‍රේක්ෂකයන්ට ළෙන්ගතු වුණා. චරිතාංග නිළියක් ලෙස තමන්ව ගොඩනඟන්නට මහන්සි වන ඇය අභියෝග මධ්‍යයේ සිය අරමුණට ළඟා වෙමිනුයි ඉන්නේ.

ඔබ ආයෙත් වේදිකාව පැත්තට හැරිලා කියලා ආරංචියි?

පුංචි තිරයේ කාර්යබහුල වීම එක්ක මට වේදිකාව මඟහැරුණා. වේදිකාවේ වැඩ කරද්දි ඒ වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරන්න ඕනේ. දෙයක් කරනවා නම් මට ඒක හරියටම කරන්න ඕනේ. වේදිකාව වෙනුවෙන් මගේ උපරිමය දෙන්න බෑ කියලා දැනුණ නිසා තමයි වේදිකාවෙන් ටිකක් ඈත් වෙලා හිටියේ. මේ කාලේ වේදිකාව වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් කියලා මට දැනුණා. ඒකයි අවුරුදු දෙකකට පස්සේ මම වේදිකා නාට්‍යයක් කරන්න ගත්තේ. ඒ චාමර ගුරුගේ අධ්‍යක්ෂණය කරන “අපි අතර වූ“ නාට්‍ය. මේ දවස්වල එහි පුහුණුවීම් කරනවා.

ටෙලි නාට්‍යයෙන්, වේදිකාවෙන් ආ ඔබ ඊළඟට සිනමාවෙනුත් කලඑළි බහින්න සූදානම් වෙලා ඉන්නවා නේද?

ගජමෑන් කියන්නේ මම සම්බන්ධ වුණ නිර්මාණ වලින් වෙනස්, හොඳ වැඩක්. එය මට විශේෂයි. මෙය Motion capture තාක්ෂණය හරහා කළ නිර්මාණයක්. ඒ තාක්ෂණික අත්දැකීම ලංකාවේ මුලින්ම ගත්තේ අපි. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. ගජමෑන් චිත්‍රපටයේ පද්මාවති කියන ප්‍රධාන චරිතයට මම සම්බන්ධ වුණේ. අපේ රංගනය කාටුන් චරිතවලින් තමයි ප්‍රේක්ෂකයන්ට ළං වෙන්නේ. ගජමෑන් චිත්‍රපටයේ වැඩ දැන් අවසන්. ඉදිරියෙදි මේ චිත්‍රපටය දේශීය ප්‍රේක්ෂකයන්ට වගේම විදේශීය ප්‍රේක්ෂකයන්ටත් නරඹන්න අවස්ථාව ලැබෙයි.

image 307

ඔබ කාලයකට පුංචි තිරයෙන් නිහඬ වෙන්නේ?

මම මේ ක්ෂේත්‍රයේ යම් අධ්‍යයනයක් එක්ක ගමනක් යන කෙනෙක්. එක චරිතයක් කරලා තව වැඩකට එකතු වෙන්න මම කාලය ගන්නවා. කරන්නන් වාලේ වැඩ කරන්න මම කැමැති නැහැ. කරන වැඩේ මහන්සි වෙලා කරන්න වගේම කරන වැඩකින් හොඳ අත්දැකීමක් අරගෙන ගමනක් යන්න තමයි මම උත්සාහ කරන්නේ. හොඳ නිළියක් ලෙස පැවැත්ම ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි ඒ වගේ වැඩ කරන්නේ. කොහොම වුණත් මම නාඩගම්කාරයෝ නාට්‍ය ඉවර වුණාට පස්සේ පොඩි විවේකයක් ගත්තා.

ක්ෂේත්‍රයේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ඇයි ඔබ මේකම අල්ලන් ඉන්නේ?

මමත් ඔය ප්‍රශ්නේ මගෙන් අහලා තියෙනවා. අමාරුම කාලවලත් මම මේක අල්ලන් ඉඳලා තියෙනවා. මම ආස එකම දේ කලාව, මම ඉගෙන ගත්ත එකම දේ කලාව. ඒක නිසා තමයි කලාව මඟහැර ගන්නේ නැතුව තාමත් අල්ලගෙන ඉන්නේ.

image 308

රංගන ක්ෂේත්‍රය තුළ දක්ෂතාව විතරක් තිබිලා රැ‍ෙඳන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?

මට අවශ්‍ය දක්ෂතාවයෙන් ඉදිරියට යන්න. ඒ අරමුණේ තවම වෙනසක් වෙලා නෑ. හැබැයි දැන් වැඩ කටයුතු වෙන විදිහ දැක්කම තේරුම් යන දේ තමයි දක්ෂතාව හැකියාව තමයි අන්තිමටම බලන්නේ. අලුත් අය ක්ෂේත්‍රයට එන්න ඕනේ. ඒත් ඒ සමහර අය එන්නේ තමන් එන්නේ මොනවා කරන්නද කියලාවත් හරියට දන්නේ නැතුව. චරිතයකට අවතීර්ණ වෙන්න මොනවද කරන්න ඕනේ කියලවත් සමහරුන්ට අදහසක් නෑ. එහෙම බලද්දි රංගන ක්ෂේත්‍රයේ අන්තිමටම බලන සාධකය තමයි හැකියාව කියලා මට දැනිලා තියෙනවා.

ලංකාවේ බොහෝ කලා ශිල්පීන් එකම චරිත හැඩරුවට කොටු වෙනවා. නමුත් ඔබ එහෙම කොටු නොවුණේ ඔබේ තේරීම් නිසාද?

රංගන ශිල්පිනියක් වුණාම ඕනම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. චරිතයක් කළාම ඒක කරලා තියෙන විදිහ හරි නෑ කියලා අහන්න මම කැමැති නැහැ. එහෙම අහන්න වුණොත් කරන දේ ඇතුළේ මම ෆේල්. අපි මිනිස්සුන්ට බලන්නනේ නිර්මාණ කරන්නේ.මිනිස්සුන්ට අපි කරන දේ දැනුණේ නැත්නම්, අපි ෆේල් කියලා දැනෙන්න වැඩ කළොත් මට වැඩක් නැහැ.මම ඕනම චරිතයක් බාර ගන්නේ මට ඒක කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. කරන දේ හරියට කරන නිසා මට වෙනස් වෙනස් චරිත මේ තාක් කරන්න ලැබිලා තියෙනවා. තණමල්විල කොල්ලෙක් නාට්‍ය කළාට පස්සේ මාව නොහිතන විදිහට ගැමි චරිතවලට කොටු වෙන්න ගියා. රාවණා නාට්‍ය කළාට පස්සේ දුෂ්ඨ චරිතවලටම මාව කොටු කරගන්න ගියා. හැබැයි මම මාව එක විදිහකට කොටු නොකරන්න වග බලා ගත්තා.

image 305

ඔබ තනි තීරණවලට වැඩ කරන කෙනෙක්ද?

මම රංගන ක්ෂේත්‍රයට ආවෙත් මගේ කැමැත්තෙන්. ඒ නිසා මගේ ගමන ගැන තීරණ ගන්නේ මම. අවශ්‍ය වෙලාවට කාගෙන් හෝ උපදෙස් ගන්න වුණොත් ඒ උපදෙස් ගන්නවා. ඒ හැරෙන්න බොහෝ තීරණ ගන්නේ මම.

කසුනි විවාහය ගැන දැන්ම තීරණයක් අරගෙන නැද්ද?

විවාහය ගැන මම තවම හිතලා නෑ. ජීවිතයේ වැදගත්ම දේ කසාද බඳින එක නෙමෙයි. ඒ නිසා ඒකට මුල් තැන දීලා ඒක ගැන හිත හිත ඉන්න කෙනෙක් නෙමෙයි මම. මගේ ගමන ඇතුළේ මට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මම දැන් අවධානය යොමු කරලා ඉන්නේ.

පෙම්වතාටත් විවාහයට හදිසියක් නැද්ද?

මගේ පෙම්වතා නළුවෙක්. එයාටත් විවාහයට හදිසියක් නෑ. එයා ක්ෂේත්‍රයේ බැහැලා වැඩ කරන කෙනෙක්. එයාටත් ගමනක් තියෙනවා. ඒ නිසා අපි තවමත් විවාහයට මුල් තැන දීලා නැහැ.

image 306

පෙම්වතා ඔබට නිදහසේ වැඩ කරන්න ඉඩ හදලා දෙන කෙනෙක්ද?

ඔව්. රංගන ශිල්පියෙක් නිසා ඔහු මේ ක්ෂේත්‍රයේ වැඩ කෙරෙන විදිහ දන්නවා. එයාගේ වැඩවලට මම සීමා දාලත් නැහැ. මගේ වැඩවලට එයා සීමා දාන්නෙත් නැහැ

image 309