උණුසුම් පුවත්
Search
bangaladesh and sl

බංගලාදේශයෙන් ගත් ණය මාර්තුවට පෙර ඉල්ලයි

78

ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව බීඩී නිවුස් 24 පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් අතර පැවති හමුවකින් අනතුරුව අබ්දුර් රවූෆ් මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන් බව බීඩී නිවුස් 24 පුවත් සේවය පෙන්වා දී තිබේ.

විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ආපසු ගෙවීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ගෙවා නිම කිරීමට නොහැකි වූ බවත් බංගලාදේශය දෙවරක් ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ණය ගෙවීමේ කාලය දීර්ඝ කළ බවත් බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් පවසයි.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වාරික තුනකින් ආපසු ලබා දීමට නියමිත බව තලුක්දර් ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමග පැවති හමුවේදී ශ්‍රී ලංකාව නියමිත පරිදි ගෙවීමට ඇති දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවන බවට සහතිකයක් ලබා දුන් බව බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් සඳහන් කළේය.

විමුක්ති එස් රුද්‍රිගු

Source – Lankadeepa