උණුසුම් පුවත්
Search
current

විදුලි බිල යළිත් වරක් ඉහළ දැමීමට සැරසෙයි

51

ඉකුත් අගෝස්තු මාසයේ විදුලි බිල 75%කින් ඉහළ දැමුව ද විදුලි බල මණ්ඩලයට තවත් බිලියන 12කට වැඩි පාඩුවක් විඳීමට සිදුව ඇති බැවින් විදුලි බිල යළිත් වැඩි කිරීමට යයි.

ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වී ඇති බිලියන ගණනක පාඩුව අඛණ්ඩව දිගින් දිගටම පැවැතුණු අතර එම පාඩුව මගහරවා ගැනීම සඳහා අගෝස්තු මාසයේ විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ ය.

බිලියන 12ක් පමණ වන මෙම පාඩුව මගහරවා ගැනීමට විදුලි බිල නැවත වරක් ඉහළ දැමිය යුතු බව, විදුලිබල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර ඉකුත් දා (ඔක්. 20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ජාතික සභාවේ දී අනාවරණය කර ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජාතික සභාව වෙත කැඳවා විදුලිබල අර්බුදය ගැන සාකච්ඡා කළ අවස්ථාවේ නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ බැව් දැන ගන්නට ඇත.

විදුලි බල උත්පාදනය ඉහළ නැංවීම සඳහා සූර්ය බලයෙන් සහ සුළං මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ජාතික සභාවේදී සාකච්ඡා වී තිබේ.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව නිලධාරීන් එහිදී කරුණු දැක්වූ බව ද වාර්තා වේ.

විදුලි බිල ඉහළ නොදැමීමට නම් සහනාධාරයක් ලබා දීමට සිදුවන බව ද සඳහන්වී තිබේ.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික සභාව රැස්වූ අතර ඒ සම්බන්ධ වාර්තාව අධ්‍යයනය කිරීමට තරම් කාලවේලාවක් නොලැබුණු බැවින් වෙනත් දිනයක් ලබා දීමට තීරණය වූ බවද දැනගන්නට ඇත.

Source – Mawbima