උණුසුම් පුවත්
Search
nipunika

”ආරංචිය ඇත්තක්, මාව ආයේ නිළියක් හැටියට දකින්න නැතිවෙයි” – නිපුණිකා හේවාගමගේ

366

නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දැක ගන්න ලැබුණු රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඒ වගේම ඇය හඬ කැවීම් ශිල්පිනියක් හැටියටත් කටයුතු කළා. මේ වෙද්දී ඈ විවාහ වෙලා සිඟිත්තියකගේ ආදරණීය මවක් බවට පත් වෙලා. ඒ නිසාම ඈ රංගනයට සමුදුන් බව තමයි දැන ගන්න ලැබුණේ. විවාහයත් එක්කම රංගනයට සමුදුන් ඈ ගැනත් ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ළහිරු දිසානායකවත් අපේ කතාබහකට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

නිපුණිකා හේවාගමගේ විවාහයත් එක්කම නම වෙනස් කරගත්තා නේද?

විවාහයත් එක්කම බොහෝ දෙනෙකුගෙ නමේ පිටුපස කොටස වෙනස් කරගන්නවනේ. මටත් ඒ දේම වුණා. මගේ සැමියා ළහිරු දිසානායක. මගේ නමට ඔහුගේ වාසගම එකතු කරගත්තා. දැන් මම නිපුනිකා දිසානායක. ඒක බලෙන් වුණු දෙයක් නෙමෙයි. මම කැමැත්තෙන්ම කරගත්ත දෙයක්.

image 155

විවාහයත් එක්කම රංගනයට සමුදුන්නා කියලා ආරංචියක් තියෙනවා?

ඒ ආරංචිය ඇත්තක්. විවාහයත් එක්කම මම භාර ගත්ත හැම නිර්මාණයකම රූගත කිරිම් අවසන් කරලා ඒ නිර්මාණ සඳහා අසාධාරණයක් කරන්නේ නැති වෙන්න වග බලා ගත්තා…. ඊට පස්සේ මම කිසිම නිර්මාණයක් භාර ගත්තේ නැහැ. සම්පුර්ණයෙන්ම රංගනයට සමුදුන්නා. ආයේ නිළියක් හැටියට දකින්න ලැබෙන්නේ නැති වෙයි.

image 157

මේ කාලේ පරණ නිළියන්ට වඩා අලුතෙන් එන නිළියන්ට කැමරාව ඉදිරියේ වැඩි ඉඩක් ලැබෙන නිසාද ඔය තීරණය ගත්තේ?

කවුරු රංගනයට ආවත් මට අදාළ වෙන්නේ නැහැ. රංගන ක්ෂේත්‍රයට අලුත් අය එන්න ඕන. නමුත් මම ගත්ත තීරණයක් මේක පවුල් ජීවිතයට මුල් තැන දෙන්න ඕන. ඒ නිසා වැඩි කාලයක් මම මගේ ගෙදර වෙනුවෙන් හා බබා වෙනුවෙන් සැමියා වෙනුවෙන් කාලය යොදවන්න තීරණය කළා. ගෘහණියක් විදිහට කටයුතු කරනකොට තමයි පවුල් ජීවිතේ ලස්සන කියලා මම හිතුවා.

ළහිරු, නිපුණිකාව විවාහ කර ගන්න කලින්ම නීති රීති දැම්මද, එහෙම නැත්නම් නිපුණිකා කියන විදිහට ඒක ඇගේ ස්වයං තීරණයක් ද?

ඒක එයාගේ තනි තීරණයක්. මම කිසිම බලපෑමක් කළේ නැහැ. අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නකොටත් ඇය රංගන ශිල්පිනියක්. විවාහ වුණා කියලා එයාව කොටු කරලා නීතී රීති දාන්න මට කොහෙත්ම වුවමනාවක් තිබ්බෙ නැහැ. එයා ගත්ත තීරණයට මම ඉඩ දුන්නා. එච්චරයි වුණේ.

image 156

ඔබ කිව්වනේ ආදරේ කරන්න පටන් ගන්නකොට ඇය නිළියක් කියලා, නිළියකට ආදරේ කරන්න, විවාහ කරගන්න බයක් හිතුණෙ නැද්ද සමාජයේ සිදුවෙන ඇතැම් සිදුවීම් එක්ක?

අනේ නැහැ, හැමෝම එක වගේ නැහැ. නිපුණිකාගේ ගතිගුණ හරි හොඳයි. පවුල් ජීවිතයක් ඇය එක්ක ගත කරන්න වගේම ආදරේ කරන්න සුදුසු කෙනෙක් කියලා එයාව ආශ්‍රය කරද්දී තේරුණා. ඒ නිසා තමයි මම එයාට ආදරේ කළේ. ඒ වගේම විවාහ කරගත්තේ, එයා දන්නවා එයාගේ සීමාව. ඒ සීමාව එක්ක සියලු දේ හරියට කළමනාකාරණය කර ගන්නවා. ගැහැනියක් ළඟ තිබිය යුතු හොඳ ගතිගුණ නිපුණිකා ළඟ තියෙන නිසා ඇය මට විශ්වාසයි. මට විතරක් නෙමෙයි. මගේ අම්මා තාත්තා වගේම මගේ නංගිත් ඇයට හරි ආදරෙයි. පවුලක් ඇතුළේ තියෙන්න ඕන ලස්සන ඇය විසින් සකසා දෙනවා. ඒක හරියට වටිනවා.

image 153

එහෙම නම් ඇයව මුණගැහෙන්නේ කොහොමද කියලත් මතක් කරමු ළහිරු?

මගේ නංගිගේ විවාහ සංවත්සරයට ගීතයක් කළා. ඒකට වීඩියෝ එකක් කරන්න අවශ්‍ය වුණා. මම ඒකට ආරාධනා කළේ නිපුණිකාට. ඒ වෙද්දීත් අපි දෙන්නා ටිකක් අඳුරනවා. කතාබහ කරලා තිබ්බා. ඒ නිසා මගේ වැඩේට එයා කැමති වෙලා ආවා. ඒ කතාබහ තමයි අවසානයේ දුර දිග ගිහිං ආදරයකට පෙරළුණේ. අන්තිමට අපි දෙපාර්ශවයේ ආශිර්වාදය මැද විවාහ වුණා.

image 152

ඔබේ රැකියාව?

මම තේ රස පරීක්ෂකවරයෙක්. අපේ බිස්නස් එක්ක තමයි මම වැඩ කරන්නේ.

ජනප්‍රිය චරිත මේන්ටේන් කරන්න අමාරුයි කියලා කතාවක් තියෙනවා, නිපුණිකාව මේන්ටේන් කරන්න ඔබට පුළුවන් ද?

එයා හරිම සරල චරිතයක්. අපි ගෙවන්නේ සමාන්‍ය ජීවිතයක්. කලාවට සම්බන්ධ කෙනෙක් වුණාට අමුතුවෙන් මේන්ටේන් කරන්න දෙයක් නැහැ. එයා එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නිහතමානීව පවුල් ජීවිතය ගෙවන්න තමයි එයා උත්සහ කරන්නේ. කිසිම වෙලාවක ඒ නිසා එයාව මට මිස් වෙයි කියලාවත් මම හිතන්නේ නැහැ. අපි තුන් දෙනා පුළුවන් තරම් එකට ඉන්න තමයි උත්සහ කරන්නේ.

image 154

එතකොට ඔබ බලාපොරොත්තු වුණේ දුවෙක්ද පුතෙක්ද?

ඇත්තටම කිව්වොත් නිපුණිකාගේ බාහිර ස්වරූපය එක්ක ගොඩක් අය කිව්වා පුතෙක් ලැබෙයි කියලා. මමත් හිතුවා පුතෙක් තමයි ඉපදෙන්නේ කියලා . අපි අන්තිම ස්කෑන් එක කරද්දිත් හිතුවේ පුතෙක් කියලා. නමුත් ඉපදුණේ දුවක්. බලාපොරොත්තු නොවුණු මොහොතක දුවෙක් අපේ ජීවිතේට එකතු වුණත් එයාව හරි ආදරයෙන් ජීවිතේට එකතු කර ගත්තා. දැන් අපේ ජීවිතේ එයා තමයි.

image 151

නිපුණිකා මවක් කියන්නේ වගකීමක්?

ඔව්. ලොකු වගකීමක් දරුවෙක් ඉන්නවා කියන්නේ. ළහිරු කිව්වා වගේ දුව අපි ළඟට ආවේ අපි බලාපොරොත්තු නොවුණු මොහොතක. අපි විවාහ වෙලා මාසයක් සම්පූර්ණ වුණු දවසේ තමයි දැනගත්තේ මම ගැබ් ගෙන කියලා. දෙසැම්බර් මාසේ 17 දුව ඉපදුණා. එයා කායා දිසානායක. දැන් දුව හුරතල් වයසේ ඉන්නේ, හරි ආසයි එයත් එක්ක ජීවත් වෙන්න. උදේ නැගිටිනවා රෑ වෙනවා දන්නෙත් නැහැ. කොහොම නමුත් මගේ නිසි වයසේදි සියල්ල මට ලබුණා වගේ මවක් වෙන්නත් වාසනාවන්ත වුණා.

image 150

දුවක් ඉන්න නිසා එයාට දැන් එක එක විලාසිතා කරනවා ඇති?

මම ගැන හිතනවට වඩා දැන් දුවගේ විලාසිතා ගැන උනන්දුවක් තියෙන්නේ. එක එක විදිහට අන්දලා හැඩ බලනවා. පුතෙක් හිටියා නම් මට එහෙම කරන්න බැහැ නේ….

image 149

ගෙදර වැඩ වලට සැමියාගෙන් උදව් ලැබෙනවද, එහෙම නැත්නම් සියලු දේ ඔබම ද කරන්නේ?

ළහිරු කියන්නේ වගකීමක් දරන්න පුළුවන් හිත හොඳ වගේම පවුල ගැන හිතන කෙනෙක්. එයා බබා ලැබෙන්න කලින් ඉඳලම මට උදව් කළා. ආදරේ කරන කාලේ මාව රූගත කිරීම් වලටත් එක්කගෙන ගියා. දැන් කියලා වෙනසක් නැහැ, ගෙදර වැඩ වලට උදව් කරනවා. අදටත් බබාගේ ඇඳුම් එහෙම හෝදන්නේ එයා තමයි. බබාව නාවන එක කරන්නෙත් එයා. එයා හරි සතුටින් උදව් කරනවා. හරි සපෝටින් චරිතයක් කියන්න පුළුවන්.

image 148

ඔබ රංගනයට පිවිසෙන්න කලින් ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකාවක්, රංගනයට සමු දුන්නට නිවේදිකාවක් විදිහට දකින්න ලැබෙයිද?

මම උසස් පෙළ කරලා සති දෙකකින් තමයි ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට සම්බන්ධ වුණේ. ආසාවෙන් කරපු රැකියාවක් ඒක. නමුත් අවසානයේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ දූවරු නාට්‍යයට සම්බන්ධ වුණු නිසා නිළියක් වුණා. නිදහස් නිවේදිකාවක් වෙන්න අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. දැන් හඬ කැවීම්වලට සම්බන්ධ වෙනවා.

image 147

දකින්න නොලැබෙන නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු ඇති?

එහෙම අඩුවක් නැහැ. දැකලා කතා බහ කරන හිනා වෙන අය ඉන්නවා. මම විවාහ වෙලා බබෙක් ඉන්නව කියලා හුඟ දෙනෙක් දන්නේ නැහැ. ෆේස්ක් මාස්ක් දාගෙන හිටියත් අඳුර ගන්නවා. මේ දවස්වල පරණ නාට්‍යයක් යළි විකාශය වෙනවා. ඒ නිසා මම තවම රඟපානවා කියලා හිතනවා.

මේ කතාබහ අවසන් කරන්න කලින් ළහිරුගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා, නිපුණිකා ජනප්‍රිය චරිතයක් නිසා පවුල් ජීවිතේට ගැටලු මතු වෙයි කට කතා අහන්න වෙයි කියලා බයක් හිතුණේ නැද්ද?

එයාට කටකතා හැදිලා තිබ්බේ නැහැ. . ඒ වගේම කට කතා කියන්නේ ඕනම කෙනෙකුට හැදෙන්න, හදන්න පුළුවන් දෙයක්. . පුද්ගලයාගේ ගතිගුණ විතරයි මට වැදගත් වෙන්නේ. මට කොහොමත් එයා ගැන එහෙම බයක් හිතුණෙත් නැහැ . ඉදිරියටත් එහෙමයි.

(හර්ෂණී වීරරත්න – සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයෙනි)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *