සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ 02කට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශ වල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ 02කට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.
සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ට ද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙනි.
වැඩි කෙරුණු ඉන්ධන මිල අනුව ගලපා දීමනාව ගෙවීම ආර්ථික අර්බුදය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් අනුව පසුගිය කාලයේ දී නතර කෙරිණ.
ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධන වල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.
ඉන්ධන දීමනාව මෙසේ වැඩි කර ඇත්තේ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදියට බව ඒ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්ධන ප්රශ්නය හේතුවෙන් ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී පැමිණියේ ඉතාම අඩු වශයෙනි.
සුජිත් හේවාජුලිගේ
Source – Lankadeepa