උණුසුම් පුවත්
Search
sri lanka match

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි ජයක් ලබයි

438

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් අද (23) අයර්ලන්තය පරදා කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 129 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, එම ඉලක්කය ශ්‍රී ලංකා පිතිකරුවන් පසු කර ගියේ ඉනිම නිමා වීමට පන්දු 30ක් ඉතිරිව තිබියදීයි.

හෝබාර්ට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 2 කට සීමා කරමින් ඇන්ඩි බල්බර්නි එක් ලකුණකට දැවී ගියා. ලෝකන් ටකර් ලකුණු 10යි. පෝල් ස්ටර්ලින්ග් පන්දු 25 කින් ලකුණු 34 ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් පන්දු 42 කින් ලකුණු 45 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා. බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, චාමික කරුණාරත්න හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ බැවින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් මෙන්ඩිස් සමගින් ධනංජය ද සිල්වා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. එම සබදතාවය බිද වැටුණේ ධනංජය ද සිල්වා ලකුණු 31(25) කට දැවී යාමත් සමගයි.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 70(40)ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

මෙන්ඩිස් පන්දු 43 කින් නොදැවී ලකුණු 68 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුට අනගි සහායක් ලබා දුන් අසලංක පන්දු 22 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31 ක්.