උණුසුම් පුවත්
Search
dadu lena

දඬුලේනාට ජාතික සත්වයාගේ හිමිකම අහිමි වෙන ලකුණු

71

ජාතික සත්වයා ලෙස නම් කර ඇති ”දඬුලේනා” ඉවත් කොට ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී යන සත්ත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙක් නොවන දඬුලේනා, ජාතික සත්වයා ලෙස නම් කරන ලද්දේ කවර පදනමක පිහිටා ද යන්නත්, එම නම් කිරීම සිදුකළේ කවුද යන්නත් මේ වනතුරු සොයාගත නොහැකි වී ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

මෙම සත්වයා නම් කළ පාර්ශ්ව හෙළි කරගෙන එසේ නම් කිරීමට හේතු ඔවුන්ගෙන් විමසා බැලීමෙන් පසු මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ වන විට බෝග වගාවන්ට වැඩි ම හානි සිදුකරන සත්ත්වයන් දෙදෙනා වන්නේ මොනරා හා දඬුලේනා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී හෙළි වූ බවත් පොල් හා කොකෝවා ඵලදාව දඬුලේනා අතින් විශාල ප්‍රතිශතයක් විනාශ වන බවත් ඔහු කියා සිටියේ ය.

ජාතික සත්වයා ලෙස නම් කිරීම හේතුවෙන් මෙම වගා හානි අවම කර ගැනීමට නීත්‍යානුකූල කිසිදු පියවරක් ගත නොහැකි බැවින් එකී යෝජනාව මතු වූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඉංග්‍රීසි භාෂාවෙන් Sri Lanka Giant Squirrel ලෙස හඳුන්වන දඬුලේනා දෙමළ භාෂාවෙන් පෙරයා අනිල් ලෙස හැඳින්වේ.

විද්‍යාත්මක නාමය Ratufa Macroura Meianochra ය.

තෙත් කලාපයේ වනාන්තර වල සහ සදාහරිත වනාන්ත වල මෙම ලේනුන් බහුලව ජීවත්වන අතර මධ්‍යම කඳුකරයේ ඌව හා දකුණු වනාන්තර වල, අනුරාධපුරය, මිහින්තලය, කණ්ඩලම, දඹුල්ල, මාතලේ, වස්ගමුව, වයඹ පළාත් යන ප්‍රදේශයන්හි ද ජීවත් වෙති.

දඬුලේනකුගේ ශරීරය ‍සෙ.මී. 25 – සෙ. මී 45 ත් අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර වලිගය සෙ. මී. 50 – සෙ.මී 90 අතර දිග ය.

ඉතා වේගවත් කඳු නගින්නකු වන දඬුලේනා ගස්වල ගත කරන ජීවිතය සඳහා අනුවර්තනය වී ඇති අතර සමබරතාවය සඳහා මොවුන්ගේ දිගු වලිගය උපකාරී වී ඇත. කඳු නැගීමට පුළුල් අත් සහ අතු අල්ලා ගැනීමට විශාල නියපොතු පිහිටා ඇත. කන් කෙටි හා වටකුරු වේ. ස්ත්‍රි පුරුෂභාවය එක හා සමාන නමුත් ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා ටිකක් විශාලය.

ශ්‍රී ලංකාවේ වෙසෙන මෙම ලේනුන් විශේෂය දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ. මේ සත්ත්වයාගේ ශරීරය දුඹුරු, රතු, අළු හෝ කළු විය හැකි අතර භූගෝලීය සාධක එයට බලපායි.

image 280

උදය සහ දහවල් කාලයේදී ක්‍රියාකාරී වන මෙම සත්ත්වයා රාත්‍රි කාලයේ දී හොඳින් නින්දට වැටෙයි. විවේක කාලයේදී සහ රාත්‍රියේදී නිදා ගැනීම සඳහා තනාගත් කූඩු වල වෙසෙයි. සෙසු සෑම අවස්ථාවකදීම පරිසරයේ ඔබ මොබ සැරිසරයි. සාමාන්‍යයෙන් තනිව හෝ ඉඳහිට යුගල වශයෙන් දක්නට ලැබෙන අතර බියට පත් වූ විට, අනතුරක් අත ළඟ බව දැනෙන විට පලා යාම සිරිතකි. විලෝපිතයන්ගෙන් බේරීම සඳහා ඉතා කලාතුරකින් බිමට පැමිණේ.

ආහාර ලෙස පලතුරු කුඩා කෘමි සතුන්, ධාන්‍ය වර්ග, කුරුලු බිත්තර සහ සමහර ගස්වල පොතු වර්ග ගනියි. ගිම්හාන කාලයේදී ආහාරයට අවශ්‍ය ගෙඩි වර්ග ආදිය එකතු කර සීත කාලයේදී පරිභෝජනය කරයි. ගෙඩි වර්ග හා ඇට වර්ග බොහෝ තැන්වල සඟවා තබන අතර සීත කාලය පැමිණි විට ඒවා සැඟවූ තැන් වලින් පිටතට ගනියි.

ක්ෂීරපායී ගණයේ සත්වයකු වන දඬුලේනුන් පොල් ආහාරයට වඩා ප්‍රිය කරති. මේ නිසා පොල් වතු හිමියන්ගේ දඩයමට පවා ලක් වේ.

තවද ගෙවතු ආශ්‍රිතව ඇති වගාවන්ට මොවුන්ගේ හානිය දැඩිව පැමිණේ. එවිටද මොවුන් විනාශ කර දැමීමට ඇතැම්හු පෙලඹෙති.

image 281



Leave a Reply

Your email address will not be published.