ස්නේහා වගේම නිර්වාන් කියන්නෙ අද දවසේ හැමෝගෙම කතා බහට ලක්වෙන බොහොම ආදරණීය චරිත දෙකක්. ඒ ආදරය නිසාම බොහෝදෙනෙක් ශලනිගෙ වගේම සචින්ගෙ පෞද්ගලික ජීවිත වලට එබිකම් කරමින් සිටින මොහොතක නවලියත් මේ විදියට ඔවුන් ඇමතුවා
රංගන ක්‍ෂේත‍්‍රය තුළ හොඳම සහ ජනප‍්‍රියම යන සම්මාන ද්විත්වයට අවුරුදු 24 කට පස්සෙ ඔබ හිමිකම් කියනවා. ඒ මොහොත ඔබට දැනෙන්නේ කොහොමද?
කිසිම දැනුවත්වීමකින් තොරව තමයි නොහිතපු විදියට මට ඒ සම්මාන ලැබෙන්නේ. ඇත්තටම ඉතින් ඒ ඇගයීම ගැන මේ වෙද්දී මගේ හිතේ නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල එනකම් ඉන්න කාලෙ යොමුකරපු අයදුම්පතක් හරහා මේ තරම් දුරක් එන්න පුළුවන් වේවි කියලා එදා හිතුනද?
අනේ මම කවදාවත් එහෙම හිතුවෙ නෑ
ඒත් පුංචිකාලෙ ඔබ කියනවා අනාගතයේ නිළියක් වෙන්න කැමතියි කියලා…
මගේ මතකයේ හැටියට ඒ මම දෙක වසරෙ ඉගෙන ගන්න කාලෙ. අනාගත බලාපොරොත්තුව ගැන රචනාවක් ලියන්න කිව්වම මම එහෙම තමයි ලියල තියෙන්නෙ.
සිරස කුමරිය ලෙස ලැබූ ජයග‍්‍රහණය ඔබේ දිවිය වෙනස්ම මඟකට හැරෙව්වා…
ඇත්තටම මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි ඒ ජයග‍්‍රහණය.
පළමු රංගනය අවස්ථාව උදාවන්නේ පතිනි ටෙලි නාට්‍යය හරහා. ඒ ගැන ඔබේ මතකය…
එහි රුවන්ති මංගලා අක්කගෙ දියණිය වගේම කාංචනා මෙන්ඩිස්ගෙ නංගී විදියට සහාය චරිතයක් තමයි මට හිමිවුණේ. මම එහි රඟපෑවේ කිසිම කැමැත්තකින් නෙමෙයි. උදේ පාන්දර එන්න ඕන. ගොඩක් ? වෙනකම් ෂූටින්. හරිම අමාරුවෙන් මාස දෙකක් විතර ෂූටින් කරද්දී මේ මොන වදයක් ද කියන එක තමයි මගේ හිතට ආවේ. පස්සෙ මම එයින් ඉවත් වුණා.
පළමු නාට්‍යයෙන්ම රංගනය එපා වුණත් රංගන ක්‍ෂේත‍්‍රය තුළ විශේෂයෙන් ම ගිරිදේවි හරහා ඔබ දැක්වූයේ අසාමාන්‍ය දක්‍ෂතාවක්. කොහොමද එවැනි මට්ටමකට ආවෙ…
ඒක මට වචනයෙන් විස්තර කරන්න බෑ. මම ගොඩක් නවකතා කියවන කෙනෙක් වුණාට චරිතය සඳහා ආරාධනා ලැබෙනකම් අඩුගානෙ පොතවත් කියවල තිබුණෙ නෑ. පස්සේ පොතත් පිටපතත් කියෙව්වා. ඒ අතරෙ හැමෝම මාව දිරිමත් කළා ඔයාටම තමයි මේ කැරැක්ටර් එක කරන්න පුළුවන් කියලා. කියවීම තුළින් මම ඇඟට ගත්තු සහ හිතේ මැවිච්ච චරිතය තමයි ආශා විදියට නාට්‍ය පුරාවට ගෙනිච්චේ. ඇත්තම කිව්වොත් මම ආශා වුණේ ශලනි තාරකා බව අමතක කරලා.
ඒ විදියට දක්වන දක්‍ෂතා දැකලා අම්ම තාත්තා මොකද කිව්වේ…
වෙන ගෙවල්වලින් රඟපාන්න යනවට අකමැති වෙනවනෙ. අපේ ගෙදර ඒකෙ අනිත් පැත්ත. මම අකමැතියි. ගෙදර හැමෝම කැමතියි. හැම වෙලාවෙම එයාල මගේ දක්‍ෂතා අගේ කරනවා.
තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන හිටියත් ඔබ වටා සමහර අවස්ථාවල නොයෙක් කට කතා ගොඩ නැගීම මානසික වදයක් නේද…
ඔය දේවල් මානසික පීඩාවක් වෙච්ච කාලයක් තිබුණා හැබැයි එ් ඉස්සර දැන්නම් මම ඔය කිසිදෙයක් සත පහකට ගණන්ගන්නෙ නෑ. තමන්ගෙ බලාපොරොත්තු ළඟාකරගන්න ඉටුකරගන්න බැරිවුණ මිනිස්සු හැම වෙලාවෙම තවත් කෙනෙක් කන බොන හැටි, අඳින පළදින හැටි කරන කියන දේවල්වල වැරදිම දකින කුහක මානසිකත්වයකින් පෙළෙනවා. දැන් මම ගොඩක් දේවල් කරන්නෙ ඒ වගේ අයට දැකල විවේචනය කරල සැනසෙන්නම තමයි.
ඔය අතරෙ ඔබේ පෙම්වතා ක්‍ෂේත‍්‍රයේම කෙනෙක් බවට රාවයක් යනව නේද?
ඔව් ඔව්. දැන් කියයි එයත් එක්කනෙ මේ ආර්ටිකල් එක කරල තියෙන්නෙත් කියල. වෙලාවකට පුදුමත් හිතෙනවා ඔය වගේ වපර ඇස්වලින් බලන අයට සහෝදර සහෝදරියො, යහළු යෙහෙළියො නැද්ද කියලත්. මේ දවස්වල එකට වැඩකරන නිතර හමුවෙන කෙනෙක් තමයි සචින් ලියනගේ. ඔව් අපි යාළුයි තමයි.ඒ හො`දම මිතුරන් විදියට.
ශලනිගෙ උත්තර වලට හිනාවෙවී හිටපු සචින් එක්කත් අපි ටිකක් කතා කළා.
සචින් ලියනගේ කියන්නෙ අද අපේ රටේ ඉන්න සිහින කුමාරවරුන්ගෙන් එක්කෙනෙක්. ඒ රංගනය වෘත්තිය කරගත්තු නිසා. කලාවට පය තියපු විදිය මතක් කළොත්…
ඒක හරිම අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මගේ හිතවත් අයිය කෙනෙක් ඉන්නව රසාංග කියල. එයා ගායනයට දක්‍ෂ ගායකයෙක් විදියට ඉදිරියට එන්න උත්සාහ කරන කෙනෙක්. දවසක් අයියගෙ සිංදුවක් භාරදෙන්න ස්ටුඩියෝ එකකට යන්න මට කතා කළා. ඒ ගිය වෙලාවෙ සුජිත් රාජපක්‍ෂ අයියා මුණගැහෙනවා. අපි කතාබහ කරල හඳුනාගැනීමේ ප‍්‍රතිඵලයක් විදියට ඔහු මට ආරාධනා කළා මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වෙන්න.
ඒ කියන්නේ නළුකම ඔබට අහම්බෙන් ලැබුණා…
හරියටම හරි. ඒක තමයි වුණේ. රංගනයේ යෙදෙනව තියා රංගනයේ යෙදෙන්නෙ කොහොමද කියන එකවත් ඒ වෙද්දි මම දැනගෙන හිටියෙ නෑ. හැබැයි ලැබුණ අවස්ථාව මඟහැරල පැත්තකට වෙන්න හිතුනෙත් නෑ. කොහොම හරි දවස් දෙකක් ඇතුළත මම ඒ සඳහා සූදානම් වෙලා මගේ පළමුවැනි රංගන අවස්ථාවට වගේම මියුසික් වීඩියෝවට දායක වුණා.
කොහොමද ලැබුණ ප‍්‍රතිචාර…
මතක් වෙනකොටත් සතුටුයි. වෙරි ගුඞ්, ෆර්ෆෙක්ට් කියන වචනත් එක්ක ඉහළ ප‍්‍රතිචාර, උණුසුම් සුබ පැතුම් වගේම බොහෝ අගයකිරීම් තමයි හිමිවුණේ.
ඒ ඇගයීම් හරහා ඔබ දිරිමත් වෙනවා…
අනිවාර්යයෙන්ම. මේක තමයි මගේ පාත් එක ඒ සඳහා කැපවෙන්න ඕන කියන එක මගේ හිතට ආවා. ඒ පිකප් එකත් එක්ක මම 2017 අවුරුද්දෙ දෙරණ අවුරුදු කුමරා ලෙස ඉදිරිපත්වෙලා දෙවන ස්ථානය ලබනවා ඊළ`ගට 2019 හිරු අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වෙලා අවසන් හයදෙනා අතරට තේරෙනවා.
සචින් නළුවෙක් වෙන්න සුදුසුකම් සැපිරිවා…
ඔව්. පෙර පිනකට වාසනාවකට ලැබන තැන වැඩිදියුණු කරගෙන නමක් හදාගෙන ඉදිරියට යන්න නම් අපි අපේ දක්‍ෂතාවලින් වගේම ලැබෙන අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සුදුසුකම් ලබන්න මම කැපවුණා.
එතනින් පස්සෙ…
සංදේශ් බණ්ඩාර කියන ආදරණීය චරිතය දැන හඳුනාගන්න අවස්ථාව හිමිවෙනවා. එතන ඉඳල සංදේශ් අයියගෙ මියුසික් වීඩියෝ කිහිපයකටම රංගනයෙන් දායක වෙලා ඒ හරහා ජනතාව අතරට යනවා. මේ වෙද්දී මම මියුසික් වීඩියෝ 12 කට වගේම වෙළෙඳ දැන්වීම් 50 කට වැඩි ප‍්‍රමාණයකට රංගන දායකත්වය ලබාදීල තියෙනවා.
ඒ විදියට පියවරෙන් පියවර ඉදිරියට තියපු ඔබ අද වන විට කියාදෙන්න අදරේ තරම් නාට්‍යයේ නිර්වාන් ලෙස ආදරණීය රසිකයන්ගේ හිත්වල ලොකු ඉඩක් වෙන්කරගෙන නේද…
ඇත්තටම නිර්වාන් කියන්නේ මගේ පළමුවෙනි ප‍්‍රධාන චරිතය. මම හිතන්නෙ තමන්ගෙම දේකින් දියුණුවෙන්න හදන අහිංසක චරිතයක් නිසා තමයි නිර්වාන්ට බොහෝ දෙනාගේ ආදරයට හිමිවෙන්නේ.
ආදරේ වැඩිකමට දැන් රසික රසිකාවියො සචින්ගෙ පුද්ගලික ජීවිතේ ගැනත් හොයල බලනව කියල හිතෙන්නෙ නැද්ද…
ඔය අහනව ඇත්තෙ එෆ්.බී. එකට දාන ශලනිගෙත් මගෙත් ෆොටෝස්වලට ලැබෙන කමෙන්ට් ගැන වෙන්න ඇති. ඇත්තටම එතන තියෙන්නෙ මෙහෙම දෙයක්. නාට්‍යයේ ස්නේහා නිර්වාන් කියන චරිත විදියට මිනිස්සු සචින් ශලනි කියන දෙන්නට දකින්න උත්සාහ කරනවා. ඔය දාන කමෙන්ට් බලල කියන කතන්දර අහල අපි සතුටු වෙනවා. රංගන ක්‍ෂේත‍්‍රයේදී වගේම පෞද්ගලික ජීවිතෙයේදීත් ඇත්තටම අපි හොඳ යාළුවෝ.