උණුසුම් පුවත්
Search
sachithra

දූෂණ චෝදනා ලැබූ සචිත්‍ර ඩුබායිහි පදිංචියට යාමට සැරසෙයි

542

තරග පාවාදීමේ චෝදනාවකට ලක්ව සිටින ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඩුබායි රාජ්‍යයෙන් කුලී පදනම මත ඉඩමක් ගෙන, එහි පදිංචියට යෑමේ සූදානමක් පවතින බව නීතිපතිවරයා අධිකරණයට ඊයේ (25) දැනුම් දුන්නේය.

අන්තර්ජාතික බුකීකරුවන්ගේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කළ සැකකාර සචිත්‍ර සේනානායකගෙන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉකුත් 19 වැනිදා බන්ධනාගාරය තුළ දී ගත් දීර්ඝ ප්‍රකාශයේදී එම කරුණු අනාවරණ වූයේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත එලෙස දන්වා සිටියේය.

‘‘සැකකරු ඩුබායි රාජ්‍යයෙන් කුලී පදනම මත ඉඩමක් අරගෙන තිබෙනවා. වීසා අරගෙන ඩුබායි පදිංචියට යන්න තමයි හදන්නේ’’ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

මගේ සේවාදායකයා වත්කම් හා බැරකම් ප්‍රකාශ දී තිබෙනවා. 2020 වසරේ සිට අවස්ථා ගණනාවකදී විදේශගත වුණා. ඔහුට ඩුබායි වල ඉඩමක් තියෙනවා කියනවා. එහෙම ඉඩමක් තිබේ නම් එහි ලිපිනය ඉදිරිපත් කරන්න කියා මා නීතිපතිවරයාට දන්වා සිටිනවා’’ යැයි සැකකාර සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට දන්වා සිටියේය.

තරග පාවාදීමේ චෝදනාවකට ලක්ව දින 18 ක් රිමාන්ඩ් භාරයේ සිටින සැකකාර සචිත්‍ර සේනානායක, බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (25) පෙරවරුවේ ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවසීය.

“සැකකරුගෙන් බන්ධනාගාරය තුළ දී දීර්ඝ ප්‍රකාශයක් සටහන් කළා. එහිදී ‘ඔහු මට මතක නැහැ. සමහර විට අමතක වෙලා මම කියන්න ඇති’ වගේ දේවල් කියා තිබෙනවා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට විස්කි බෝතලයක් රැගෙන ගියේ කවුද? කියා සැකකරුගෙන් ප්‍රශ්න කළ විට ‘මගේ මතකයේ හැටියට තමයි කිව්වේ. මගේ හිතේ තිබෙන දෙයක් කියන්න ඇති’ වගේ දේවල් කියා තිබෙනවා. මෙවැනි දේවලින් ඉතාමත් සැලසුම්සහගතව සූක්ෂ්ම අයුරින් සැකකරු විමර්ශන කටයුතු නොමග යැවීමට උත්සාහ කරනවා.

මෙම විමර්ශනයේදී අනාවරණ වූ ෂෙයිබ් නමැති පුද්ගලයා පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනාවරණය කර තිබෙනවා. ඔහු ඉන්දියාවේ නවදිල්ලියේ පදිංචි ව්‍යාපාරිකයකු වන අශිෂ් සේනි බවට අනාවරණය කර තිබෙනවා. ඔහුට ඩුබායි රාජ්‍යයේ සම්බන්ධකම් තිබෙනවා. ඔහු 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතුකර තිබෙනවා.

‘විදේශයක සිට දුරකථන ඇමතුම් ආවා. මම ඔහු කවුද කියා දන්නේ නැහැ. නමුත් ඔහු එවූ පණිවුඩය ධම්මික ප්‍රසාද්ට සහ තරිඳු රත්නායකට යැව්වා.’ යනුවෙන් සැකකරු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙය වීමට හැකි දෙයක්ද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දෙන තොරතුරු මත තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන් පෙලඹවීමේ සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන කිරීමට ඇති හෙයින්, සැකකරු තව එක් වරක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

මෙම සැකකරු අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත් කළාට ඔහු කොහෙද සිටියේ, ඔහු සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්‍ය සැකකරුවන් සිටින සිර මැදිරියක නෙවෙයි. ඔහු සිටියේ විශේෂ වරප්‍රසාද සහිත කුටියක. බන්ධනාගාර නිලධාරින් සිටින කාමර පේළියේ කෙළවරේ පිහිටි විශේෂ පහසුකම් සහිත කුටියක. තවත් සැකකරුවන් 07 දෙනකු සමග තමයි ඔහු සිටියේ. බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සැකකරු වරප්‍රසාද සහිත ප්‍රභූ මැදිරියක රඳවනු ලැබුවේ අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුවද? ගමෙන් එන සමරපාලට එක කුටියකුත්, සචිත්‍ර සේනානායකට තවත් කුටියකුත් දෙන්න බැහැ. ඒක අධිකරණයටත් කරන අපහාසයක් වෙනවා.”

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මෙසේ පැවසීය.

‘‘මාගේ සේවාදායකයා විශේෂ වරප්‍රසාද සහිත කුටියක සිටි තත්ත්වයක් නැහැ. අවශ්‍ය නම් නීතිපතිවරයා, බන්ධනාගාර කොමසාරිස්වරයා කැඳවා ඒ පිළිබඳ ප්‍රශ්න කළ හැකියි.

මෙම සිද්ධියට අදාළව මීට ඉහතදීත් සැකකරුගෙන් ප්‍රකාශ දෙකක් සටහන් කර තිබෙනවා. සැකකරු ජංගම දුරකථනය ඇළට විසිකරලා තිබෙන බව කිව්වා. 2021 වසරේ සිට එම ජංගම දුරකතනය නැවත ක්‍රියාත්මක වුණාදැයි අවශ්‍ය නම් සොයා බැලිය හැකියි.

දින ගණනාවක් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර සිටියද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉල්ලීමකට අනුව යැයි පවසමින් එකම එක දවසක් රිමාන්ඩ් භාරයට පත් කරන්න නීතිපතිවරයා ඉල්ලා සිටිනවාද? ඕනෑම කොන්දේසියක් මත සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.

සැකකරු බන්ධනාගාරගතව සිටියදී සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බාධාවක් එල්ල කර නොමැති බව සඳහන් කළා. ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙස නියෝග කළේ ය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව දෙසැම්බර් 01 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.

(ඉෂාර රත්නකාර)