උණුසුම් පුවත්
Search

රුසියානු ගුවන් යානයට නිදහස හිමිවෙයි

128

රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (06) අත්හිටවනු ලැබුවා.

එම ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය සම්බන්ධව කරුණු දැක්වීමට නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබුවා.

මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම වාරණ නියෝගය අත්හිටුවන ලෙසයි.

අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය සත්‍ය වසන් කොට අධිකරණය නොමග යවමින් මෙම වාරණ නියෝගය ලබා ගෙන ඇතැයි සඳහන් කළා.

මෙම නඩුව ඉකුත් සිකුරාදා කැදවු අවස්ථාවේදී මෙම නඩුකරය හරහා රජයට හෝ කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත වාරණ නියෝගයක් නිකුත් කර නොමැති බව විනිසුරුවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.

එසේ නම් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ද සිල්වා අධිකරණයේ පිස්කල් නිලධාරියා සමග කටුනායක, අධි ආරක්ෂක කලාපයේ පිහිටි ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් රුසියානු ගුවන් යානය පිටත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව දැනුම් දුන්නේ කෙසේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කලා.

අධිකරණය මගින් තම සේවාදායක ගුවන් ගමන් පාලක වෙත වාරණ නියෝගයක් නිකුත් කර නොමැති අවස්ථාවක නීතිඥවරයෙකු හා පිස්කල් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කලේ කෙසේදැයි ප්‍රශ්න කල අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියා.

මෙම පිස්කල් නිලධාරියා සහ නීතිඥ වරයා ගුවන් පාලක මැදිරිය වෙත පැමිණි ආකාරය තහවුරු කිරීම සඳහා ජායාරූප 14ක් අඩංගු සංයුක්ත තැටියක් ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී විනිසුරුවරයා විවෘත අධිකරණයේ සදහන් කළේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසන කරුණු සත්‍යයක් නම් මෙම ක්‍රියාව හරහා තම අධිකරණයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෙත සිය බලවත් අප්‍රසාදය පළ කළ විනිසුරු හර්ෂ සේතුංග නීතිඥවරයෙකුට මේ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් චෝදනා කළා.

නීතිඥවරයා විසින් සිදු කර තිබෙන්නේ බරපතල වරදක් බවත් මෙම කරුණ බැහැර කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වර්තමානයේ අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය හරහා සිවිල් ගුවන් සේවා පනතේ 37 වගන්තිය උල්ලංඝනය වන බව පෙන්වා දුන්නා.

එම වගන්තිය හරහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගුවන් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් පවරා දී ඇති බලතල මෙම වාරණ නියෝගය හරහා උල්ලංඝනය වන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ හරහා රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංගනය වීමක් සිදු වන බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් තර්ක කළා.

එබැවින් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය වහා අත්හිටුවන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව පැමිණිලිකාර අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද කරුණු ඉදිරිපත් කළා.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.




Leave a Reply

Your email address will not be published.