සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ආරාධනා කළත් ඔහු ඊට සහභාගි නොවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බව දන්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මන්ත්‍රී අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කර තිබේ.
මෙම ලිපිය ජනාධිපතිවරයා ඊයේ ( 11) යොමු කර ඇත.
එහි සඳහන් වන්නේ සර්ව පාක්ෂික පාලනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආරාධනා කරමින් තමා විසින් ජාතික ජන බලවේගයේ නායකයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලෙස එවූ ලිපිය තමාට ලැබුණු බව ය.
ජාතික ජන බලවේගය විසින් තමාට යොමු කරන ලද ලිපියෙහි පෙන්වා දී ඇති කරුණු සම්බන්ධයෙන් තමා විශේෂ අවධානය යොමු කරන නමුත් අදාළ සාකච්ඡාවට සම්බන්ධ නොවීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.
එසේ වුවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දන්වා ඇති පරිදි රටත් ජනතාවත් මුහුණ දී ඇති ගැටලුසහගත තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ජාතික පක්ෂ වැඩපිළිවෙළට රට වෙනුවෙන් පක්ෂයේ සහය ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.