උණුසුම් පුවත්
Search
ranga

මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැ’යි අවවාද කරන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ රංග විරාජ්

719

හෙල්මට් නොමැතිව අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදි ධාවනය කළ16 හැවිරිදි පාසල් සිසුන් කිහිපදෙනෙකුට අන්තරාය ගැන උපදෙස් දෙන්න ගොස් ඇතිවූ බහින්බස්වීමකින් පසු ඔවුනගේ හෙල්මට් පහර කා බරපතල තුවාල නිසා අවාසනාවන්ත ලෙස මියගිය අලුත්ගම ප්‍රදේශයේ එක්දරු පියෙකු ගැන වාර්තා වේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිංහ නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකි. සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය රංග ද යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියැවිණි. ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් දැක ඔහු කළ අවවාද නොරිස්සූ තරුණයින් ඔහු සමග ආරවුලට පැමිණ ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. ඔවුන් සතුව තිබූ හෙල්මට් වලින් විරාජ්ගේ මුහුණට හිසට දිගට හරහට පහරදුන් බව කියැවේ.

image 155

බරපතළ තුවාල ලැබූ විරාජ් තුවාල සහිතව බිම වැටුණ පසු සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි. තුවාලකරු රෝහල්ගත කිරීමට අවට අය කටයුතු කළ අතර වෙළෙඳසලක සැඟ වී සිටි පාසල් සිසුවකු පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත. ඒ සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහර දීමට උත්සාහ දැරූ බව ද වාර්තා විය.

ඇති වූ උණුසුම් තත්වය පාලනය කරන්නට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු ද එම ස්ථානයට පැමිණ පිරිස විසුරුවා හැරීමට පියවර ගත්හ.

image 156

සැකකාර අනෙක් සිසුන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස් වල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් ගමන් කළ යතුරු පැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ පසුව එක්දරු පියා ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා මෙම මස 28 දින දක්වා මාකොළ බාලක රැඳවුම් නිවාසයේ රඳවා තබන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිරූපා නානායක්කාර මහත්මිය ඊයේ 15 නියෝග කළාය.

image 154

මෙසේ රඳවා තැබීමේ නියෝග නිකුත් කළේ වැලිපැන්න පොලිස් වසමේ දැල්කඩ, ගල්මත්ත පදිංචි පාසල් සිසුන් දෙදෙනකුට සහ මීගම, දර්ගා නගරය පදිංචි පාසල් සිසුවකුටය.

මොවුන් Tik Tok තුල ද ඉතා ජනප්‍රිය අය බව කියැවේ.

පාරේ බයික් වැඩ දදා පදින අවස්ථාවක අන්තරාය දුටු නිසා හෙල්මට් පළදින ලෙස ඉතා සුහදශීලීව අවවාද කළ රංග විරාජ් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු විය. ඔහු මාස 11ක දියණියකගේ පියෙකු වූ අතර අනපේක්ෂිත සිද්ධියෙන් දියණියට ආදරණීය පියෙකු අහිමි වී ඇත.

විරාජ්ගේ බිරිඳ දිල්කී පහන්තිහගේ ගුරුවරියක වන අතර විරාජ් පුද්ගලික සමාගමක රැකියාව කරමින් සිටියේය.