ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා 2020 වසරෙන් පසු අයැදුම් පත් ඉදිරිපත් කළ කිසිවෙකුට ආධාර මුදල් ගෙවා නැතැයි එම අරමුදලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය තුළ අයැදුම් කළ කිසිවෙකුට මෙම ආධාර නිකුත් කොට නැත.
2020 වසරේ මුල් භාගයේ අයැදුම්පත් කිහිපයක් වෙනුවෙන් ආධාර මුදල් ගෙවා ඇතත් එසේ ගෙවන ලද්දේ එම වසරට පෙර වසර වල ඉදිරිපත් කරන ලද අයැදුම්පත් සඳහා පමණක් බවත් සඳහන් ය.
හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, අක්මා බද්ධය, කර්ණ සංඛ බද්ධය ඇතුළු බරපතළ රෝග තත්ත්වයන් සඳහා වන සැත්කම් වල දී වැයවන මුදලින් කොටසක් ජනාධිපති අරමුදලින් ලබාගත හැකි අතර නතර කර තිබුණේ එසේ ආධාර ඉල්ලූ අයැදුම්පත් සඳහා ගෙවීම් සිදු කිරීම ය.
කෙසේ වෙතත්, එම අයැදුම්පත් සඳහා ආධාර මුදල් ගෙවීම පසුගිය දා යළි ආරම්භ කළ බව ජනාධිපති අරමුදලේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ය.