ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අද (11) වාර්තාගත පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් සිය මංගල ටෙස්ට් තරගය සාර්ථකව නිමා කිරීමට සමත් වුණා.
ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 12ක් දවා ගනිමින්.
ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා ඔහු පළමුව නම් කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, පළමු තරගයේ දී ලසිත් ඇඹුල්දෙණිය සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට අසමත් වීම හේතුවෙන් හා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට පියවර ගැණුනා.
ඒ අනුව පසුගිය 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී 30 හැවිරිදි ප්‍රභාත් ටෙස්ට් වරම් දිනා ගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 159 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමින්.
මෙම තරගයේ පළමු ඉනිමේ දී ඔහු ලකුණු 118 කට කඩුලු 6ක් දවා ගත්තා. දෙවැනි ඉනිමේ දී ප්‍රභාත් කඩුලු 6ක් බිද හෙලුවේ ලකුණු 59ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
තරගය තුළ දී ප්‍රභාත් ජයසූරියගේ පන්දු හමුවේ ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන මර්නස් ලබුෂේන් දෙවරක්ම දවා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.
එමෙන්ම ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසු වන ස්ටීවන් ස්මිත් දෙවැනි ඉනිමේ ලකුණු නොලබා සිටියදී දැවී ගියේ ද ප්‍රභාත්ගේ විශිෂ්ඨ පන්දුවක් හමුවේයි.
සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 12ක් දවා ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි ප්‍රභාත් ජයසූරිය අද වාර්තා අතරට එක් වුණේ.
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ තරගයේ දී විශිෂ්ඨතම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වා තිබුණේ ප්‍රවීන් ජයවික්‍රමයි.(කඩුලු 11ක්)
මීට අමතරව ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිය මංගල ටෙස්ට් තරගයේ දී පන්දු යවන්නෙකු දැක් වූ සිව්වැනි හොදම දක්ෂතාවය වන්නේ ද ප්‍රභාත් ජයසූරිය මෙම තරගයේ දී දැක් වූ දක්ෂතාවයයි.
ඉන්දියාවේ Narendra Hirwani සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 16ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ Bob Massie ද සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 16ක් දවා ගැනීමට සමත්ව තිබූ අතර, එංගලන්තයේ Fred Martin සිය මංගල තරගයේ දී කඩුලු 12ක් දවා ගෙන තිබුණා.