උණුසුම් පුවත්
Search
tik tok

අමෙරිකාවේ TikTok තහනම් කරන්න නියෝග

95

අමෙරිකාව තුල TikTok භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් සම්මත කරගෙන තිබනවා.

ByteDance නම් චීන සමාගමකට අයත් TikTok හී කොටස් මාස හයක් තුල විකිනීමට එම සමාගම පියවර නොගතහොත් යෙදුම අමෙරිකාව තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා මෙම පනතින් අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් පනත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කල වහාම එය එරට නීතියක් බවට පත් නොවන අතර සම්මත වූ පනත් කෙටුම්පත සෙනෙට් මණ්ඩලය විසින් අනුමත කර ජනාධිපතිවරයාට යැවීමෙන් පසුව ඔහුගේ අත්සනින් පමණක් මෙය අමෙරිකාව තුළ නීතියක් බවට පත්වනු ඇති.

පනත පිලිබඳව අදහස් දක්වන ජෝ බයිඩන් කියා සිටින්නේ පනත තම මේසය මතට පැමිණි වහාම එය අත්සන් කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

පනත පිලිබඳව අදහස් දක්වන අමෙරිකානු බලධාරීන් කියා සිටින්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය ද හිමිකාරත්වය දරන සමාගමක් විසින් පාළණය කරන ප්‍රධාන පෙලේ සමාජ මාධ්‍ය යෙදුමක් අමෙරිකාව තුල භාවිත වීමේ අවධානම තමන් දැරීමට සූදානම් බවයි. එක්සත් ජනපදයේ පරිශීලකයන් මිලියන 150ක් පමණ TikTok භාවාතා කරන අතර ඔවුන්ගේ දත්ත චීන රජය සතුවීම අමෙරිකාවේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පනත සම්බන්ධයෙන් චීනයේ අදහස වන්නේ සාධාරණ වෙලඳ තරඟයක් තුල ජයග්‍රහණය කල නොහැකි අමෙරිකාව මෙලෙස නීති හරහා ජයග්‍රහණය කිරීමට තැත් කිරීම තමන් අනුමත නොකරන බවයි. එමෙන්ම මෙම පනත ක්‍රියාත්මක වුවහොත් එය චීනය සහ අමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බව ද චීනය ප්‍රකාශ කරනවා.

ඒ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තරුණ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මෙම පනතට තමන්ගේ විරෝධතාව පල කරන බවයි.