ජනප්‍රිය රංගන හා නර්තන ශිල්පිනියක වන ශිරෝෂි රොමේෂිකා ගැන පසුගිය කාලයේ අහන්න ලැබුණේ නම් සුබ ආරංචියක් නෙවෙයි. ඒ ශිරෝශි රොමේශිකා මුහුණ දුන් හදිසි අනතුරක් නිසා. කාලය කෙමෙන් ගත වී ඇති හෙයින් ශිරෝශි සුවය ලබා තිබෙන සුබ ආරංචිය නිසාම ශිරෝෂි සමග කළ කතාබහක උපුටනයක් තමයි මේ….
කොහොමද ශිරෝශි දැන්?
දැන් නම් ගොඩක් දුරට සුව අතට හැරිලා තියෙන නිසා මම හොඳින් කියලා කියන්න පුළුවන්.
බොහො දෙනා දන්නෙ ශිරෝශි හදිසි අනතුරකට මුහුණ දුන්න කියලා විතරයි. ඇත්තටම මොකක්ද එදා වුණේ….
ඇත්තටම එදා වුණේ ඩේ අවුට් එකක් ගියා. ඉතින් ඒ ගිය තැන ජෙට්ස්කි (Jetski) තිබ්බා පදින්න. මම සාමාන්‍යයෙන් ජෙට්ස්කී එහෙම පදින කෙනෙක් නෙවෙයි. එදා යාළුවො කට්ටිය හිටිය නිසා ඒ අය එක්ක පදිනවා කියලා හිතුවා. එදා මගෙ අතින් සිද්ධ වුණ අනතුරක් නෙවෙයි. එහෙම පදින අතරේ මගේ සයිඩ් එකේ තව කෙනෙක් ඇවිත් හැප්පුණා. ඒකෙන් තමයි ඒ අනතුර සිදුවුණේ. ඇත්තටම හිතාගන්න බැරි දෙයක් එදා වුණේ. කවදාවත් මම හිතුවේ නැහැ ඒ වගේ අනතුරක් වෙයි කියලා. සමහරවිට එය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ නැතිවෙන තරම් ලොකු අනතුරක්. මම මැරෙන්න ගිහින් ජීවිතේ බේරුණ කෙනෙක්. ඒකට මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒක ප්‍රාතිහාර්යයක් වගේ දෙයක්. එදා මගේ ජීවිතේ නැති වෙන්නම තිබ්බා. නමුත් කොහොම හරි දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ ජීවිතේ නැවත මට ලැබුණා.
ජීවිතේ ගැන දැනුණ හැඟීම කොහොමද?
ඇත්තටම ඒ වෙලාවේ මට හිතුණේ මගෙ හැමදේම මෙතැනින් ඉවරයි කියලා. ජෙට්ස් කී එක මගේ ඇඟේ හැප්පුණ ගමන් මම හිතුවේ මට ආයේ ඩාන්සින් කරන්න හම්බ වෙන එකක් නැහැ, මම කරන්න හිතන් හිටිය හැමදේම මට කර ගන්න බැරි වෙයි කියලා. මොකද ජීවිතේ කියන්නෙ අපි නොහිතපු වෙලාවක නැති වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා මම කියන්න කැමතියි ජීවත් වෙලා ඉන්න කාලේ ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම මේ කිසිවක් තියාගන්නෙ නැතුව ජීවිතේ විඳින්න. ජීවිතේ විඳලා, තව කෙනෙක්ට ශක්තියක් වෙලා සතුටින් ජීවත් වෙන්න ඕන කියලයි මට නම් හිතුණේ.
ශිරෝශි අසනීපයෙන් ඉන්නකොට අමල් පෙරේරා උපන්දිනය සැමරීම ගැන සමහර අය විවිධ මත ඉදිරිපත් කරලා තිබ්බා. ඒ ගැන මොකද හිතුණේ…?
අමල්ගෙ උපන්දිනය ගන්න මාසෙකට කලින් ඉඳලා තමයි ප්ලෑන් කරලා තිබ්බෙ….. ඒක නදීමාල් පුතා තමයි කට්ටියට කියලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බෙ. ඇත්තටම මගෙ මේ අනතුර නිසා තමා ඒ දරුවෝ හිතපු විදියට ලොකුවට කරගන්න බැරිව ගියේ. මම නම් ඒකේ වරදක් දකින්නෙ නැහැ. එයා සෙලිබ්‍රිටි කෙනෙක්. ඒ නිසා උපන්දින සාද, කේක් කපන එක සාමාන්‍ය දෙයක්. අනිත් එක ලොකුවට ගන්න හිටිය පාටිය කැන්සල් කරලා ගෙදර පොඩියට තමන්ගේ දරුවන්ගේ සතුට වෙනුවෙන් කරපු එකට පිට අය කියන කතා ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. අපේ පවුලේ ඇතුළේ සිද්ධ වෙන දේවල් ගැන හරියටම දන්නෙ පවුලේ අය විතරයි. ඒ නිසා අනිත් අයගෙ කතා ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ. අමල් ඒ වෙද්දී හිටිය ස්ට්‍රෙස් එකත් එක්ක එදා එහෙම හරි අමල්ව සතුටින් තිබ්බ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ආව අයට….
කාලෙකට පස්සෙ රංගනයට ඇවිත් වැඩ ටිකක් කරන්න පටන් ගත්ත විතරයිනේ, කරගෙන ආව වැඩ අතරමග නතර වීම ගැන මොකද හිතුණේ…?
බාරගත්ත වැඩ කිහිපයක්ම මේ අනතුර නිසා මට කරන්න හම්බ වුණේ නැහැ. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. ඒ වගේම ඒ වැඩ බාරගත්ත අයගෙන් සමාව ඉල්ලනවා. මේක හිතලා වුණු දෙයක් නෙවෙයි. මම බොහොම ආසාවෙන් හිටියේ ආපහු ප්‍රේක්ෂකයන් අතරට එන්න. ඒකට මේ අනතුර ලොකු බාධාවක් වුණා. බලමු ඉතින් ඉදිරියට.
දැන් ආයෙමත් සුපුරුදු ලෙස වැඩ පටන් ගන්න සූදානම්ද?
අනිවාර්යයෙන්ම වැඩ කරන්න සූදානමින් ඉන්නවා.
ළඟදිම දකින්න ලැබෙන නිර්මාණය මොකක්ද?
ළඟදිම දකින්න පුළුවන් නිර්මාණ දෙක තුනක් තිබ්බා. නමුත් ඒ එකක්වත් කර ගන්න හම්බ වුණේ නැහැ. ඒ නිසා ළඟදිම දැකගන්න ලැබෙන එකක් නැහැ.
ජීවිතේ මෙතෙක් ආ ගමන ගැන ආපස්සට හැරිලා බැලුවොත්…
ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ ගැන මට සතුටු වෙන්න පුළුවන්. මොකද මගෙ ජීවිතේ ලොකු අත්දැකීම් ටිකක් තියෙනවා. ඒවාත් එක්ක අද දවස වෙනකොටත් මම බොහොම ශක්තිමත් ගැහැනියක් විදියට ඉන්නවා. ඒක නිසා මෙච්චර කාලයක් ආව ගමන් මග දිහා බැලුවම දුක් වෙන්න හේතුවක් නැහැ. අදටත් මම කොන්ද කෙළින් තියන් ශක්තිමත් ගැහැනියක් විදියට ජීවත් වෙනවා. ඉදිරියටත් ඒක එහෙම තමයි.
ගත්තු ඇතැම් තීන්දු තීරණ ගැන පසුතැවෙනවද?
කිසිම පසුතැවීමක් නැහැ. ජීවිතේ තියෙන්නේ තීන්දු තීරණ ගන්න. ඒවා අපි අරන් බලන්න ඕනේ. එතකොට තමයි අපි දන්නෙ මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නෙ කියලා. ඒ නිසා අද දවස ගැන මම ඉන්න විදිය ගැන මට සතුටුයි.
අලුත් අවුරුද්දෙ තියෙන අලුත් බලාපොරොත්තු මොනවාද?
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු කියලා විශේෂ දෙයක් නැහැ. කරන හැම දෙයක්ම සාර්ථක කරගෙන සන්තෝසයෙන් ඉන්න තමයි එකම බලාපොරොත්තුව. ඒ වගේම ඉදිරියට මගේ නර්තනය පැත්තෙනුත් වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම කියන්න කැමතියි ප්‍රේක්ෂකයන්ට එදා දැකපු ශිරෝශි නැවත දකින්න ලැබෙයි කියලා. ඉතින් ප්‍රේක්ෂක ආදරේ මට හැමදාම වගේ දෙන්න මමත් ඒ ආදරේට හැමදාම ගෞරව කරනවා.
අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති…
මගේ දරුවට මාව ආපහු ලබාදුන් එක ගැන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මොකද එදා මගෙ ජීවිතේ නැතිවුණා නම් එහි ලොකුම පාඩුව මගේ දරුවට. ඒ නිසා මගේ දරුවට අම්මව නැවත ලබාදුන් එක ගැන දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම මා වෙනුවෙන් වෙහෙසුණු නාගොඩ රෝහලේ සහ නවලෝක රෝහලේ වෛද්‍යවරුන්ට හෙද හෙදියන්ට, මගෙ පවුලේ අයට අමල්ට සහ අමල්ගේ පවුලේ අයට ස්තූතිවන්ත වෙනවා. නවලෝක අධිපති ජයන්ත ධර්මදාස මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට සුවය පතලා මුහුණු පොතට පෝස්ට් පළකරපු අයට, මා වෙනුවෙන් දේව මෙහෙයන් බෝධි පූජා ආදිය තිබ්බ සියලුම දෙනාටම මම ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.