උණුසුම් පුවත්
Search
six twins

කාසල් රෝහලේ උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් අයෙක්ට දිවි අහිමි වෙයි

830

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් පසුගිය ඉරිදා (15) පිරිමි දරුවන් 06ක නිවුන් දරු උපතක් වාර්තා වූ අතර සති 38කින් වර්ධනය වී ලබාගත යුතු කලල සති 26 වැනි අඩු කාලයකින් සිසේරියන් සැත්කමකින් ලබාගෙන තිබුනේ මවට ඇතිවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙනය.

මේ හේතුවෙන් නොමේරූ තත්වයේ ග්‍රෑම් 450 ත් 700 ත් අතර අඩු බරින් යුත් දරුවන් සය දෙනාම උපතේ සිට නොමේරූ ළදරු ඒකකයේ දැඩි සත්කාර මත රදවා තිබුණි.

දරුවන් 5 ක් ඔවුන් උපත ලද කාසල් වීදියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (NICU) සිටින බවත් එක් බිළිඳෙකු ඉඩ කඩ නොමැතිකම හේතුවෙන් ළමුන් සඳහා වන රිජ්වේ ආර්යා රෝහලේ (LRH) වෙත ඊයේ යැවූ බවත් වාර්තා විය.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා අද (18) උදෑසන මියගොස් තිබුණි. මෙම දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලා යාම නිසා මෙම මරණය සිදුව ඇතැයි ළමා රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අනෙක් දරුවන්ගේ ජීවිත අවදානමක් පවතින බව වෛද්‍යවරුන් දන්වා ඇති අතර ඒ සමගම චෝදනාවක් කර තිබුනේ වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි ලෙස ඉන්-වීට්‍රෝ සංසේචනය (IVF) හෙවත් ‘නළ දරු උපතක්’ වෙනුවෙන් වැඩිපුර කලල තැන්පත් කිරීම හේතුවෙන් මෙතරම් ප්‍රමාණයක් දරුවන් ලැබී ඇති බවයි.

“මෙම දරුවන් ඇති දැඩි කිරීම විශාල අභියෝගයක්, දරුවන් ලබාගැනීම ප්‍රමාද වූ වයස 37 මවට විසඳුමක් ලබාදීමට වැඩි කළල තැන්පත් කර ඇති මුත් සදාචාර ක්‍රමය වන්නේ උපරිම කළල දෙකක් තැන්පත් කිරීමයි. නමුත් එය ප්‍රමාණය ඉක්මවා සිදු කර වෛද්‍ය සදාචාර මූලධර්ම උල්ලංඝනය කර තිබෙනවා. මේවා ගැන නියාමනයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී නොමැති නිසා දරුවන් හා මව අවදානමකට ලක්කර තිබෙනවා.” යයි දරුවන් සම්බන්ධව ඊයේ පවති මාධය හමුවකදී සදහන් කෙරිණි.

දරු ප්‍රසූතියෙන් පසු මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නමුත් ළදරුවන් සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකය. සියලු දෙනාටම කෘත්‍රීම ස්වසනය ලබාදෙමින් පවතී.

මේ අතර දරුවන්ගේ පියා සදහන් කරන්නේ තමා වෙළෙඳ සහයකයෙකු බවත් අමාරුවෙන් කුලී නිවසක ජීවත්වන බවත් වසර 12 ක් දරුවන් නැතිව සිටි නිසා සැත්කමකට යොමු කළ බවත් දරුවන් රැක බලාගැනීමට ආර්ථික සහය ජනතාවගෙන් අපේක්ෂා කරන බවත්ය.

කෙසේ වෙතත් IVF නල දරු කලල තැන්පතු සැත්කමක් සදහා ශ්‍රී ලංකාවේ ලක්ෂ 15 සිට 23 අතර වියදමක් දැරීමට සිදුවන අතර පුද්ගලික රෝහලක එම කටයුත්ත සිදු කර දරුවන් ලැබීම සදහා රජයේ කාසල් වීදියේ රෝහල ඔවුන් තෝරාගෙන තිබුණි.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය සදාචාර ප්‍රශ්නයක් ලෙස කලල වැඩි ප්‍රමාණයක් තැන්පත් කිරීම ගැන කාසල් රෝහලේ වෛද්‍යවරු අදහස් පළ කළ නමුත් එම තැන්පත් කිරීම සිදුකළ පුද්ගලික රෝහල හෝ වෛද්‍යවරුන් ගැන හෙළි කර තිබුනේ නැත.

 

Source – Gossip Lanka News