උණුසුම් පුවත්
Search
petrol 1 2

රට පුරා තෙල් හිඟයක් – පෝළිම් යළිත්

213

ඉන්ධන හිඟයක් නැවතත් ඇතිවීමෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (25) දිනයේ තරමක් දිගු පෝලිම් දැකිය හැකි වූ අතර ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන නොමැතී යනුවෙන් සදහන් දැන්වීම් පළකර වසා දමා තිබෙනු දක්නට ලැබිණි.

කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශ වල ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය පැවසුවේ ඇණවුම් කළ ඉන්ධන තොග නොලැබුණු බවත් ඉන්ධන ලැබෙන දිනයක් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

මේ අතර බනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන දෙකම නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා සඳහන් කර සිටියා.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත් මෙම තත්වය හමුවේ පිරවුම්හල් අසල නැවතත් තරමක් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් ඔහු පවසනවා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලට දින දෙකින් ඩීසල් නොලැබුණු බවත් ඒ හේතුවෙන් රට පුරා ලංගම ඩිපෝ රැසක ඩීසල් අවසන් වී ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඩිපෝවලට ඩීසල් අද වන විට ලැබේ යැයි විශ්වාස කරන බව කී එම නිලධාරියා මෙම තත්වය හේතුවෙන් ඩිපෝ වලින් බස්රථ වලට ඩීසල් ලබාදීමට නොහැකි වී ඇතැයි ද සදහන් කර සිටියා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඉන්ධන ලබාගැනීමට නොහැකි වීමෙන් ඊයේ දිනයේ ද බස් රථ සැලකිය යුතු සංඛ්‍යාවක් ධාවනය නොකළ බවත් අද වන විට එම තත්වය ඉහළ යා හැකි බවත්ය. මෙම තත්වය පිළිබදව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන තොගවල අඩුවක් පවතින බවත් ඉදිරි දින තුනදී ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙකක් කොළඹට ළඟා වීමට නියමිත බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *