උණුසුම් පුවත්
Search
sajitha

”දැන් ජීවිතේ සැහැල්ලු නෑ, පොඩි බරකට ගෙනියනවා” – සජිත ඇන්තනී

657

සජිත…. මුලින්ම ලැබුවා වූ 2023 වසර හිතට සැපනීම ගෙන එන බලාපොරොත්තු සඵල වන සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෙවුණ 2022 වසර කොහොමද?

ගොඩක් ස්තූතියි ඒ සුබපැතුමට. කාලය යන්න යන්න අවුරුද්දක බර වැඩි වෙනවා කියලා මම විශ්වාස කරනවා. 2022 අවුරුද්ද මට වයස අවුරුදු 30 සම්පූර්ණ කළා. මේ අවුරුදු තිහ පුරාම මම ලබපු අත්දැකීම් එක්ක මම 2023ට මුහුණ දුන්නා. අවුරුදු විසි නවයක අත්දැකීම් එක්ක මම තිස්වැනි අවුරුද්ද සැමරුවා. අපි ජීවිතේ ගන්න තීරණ, කරන දේවල්, එකතු කරගන්නා අත්දැකීම් එක්ක 2022 අවුරුද්ද ගත කළා. මගේ අප්පච්චි අනතුරට මුහුණ දුන්නේත්, මගේ පුංචි පුතා නිසා මම පිය පදවිය ලැබුවේත් 2022 අවුරුද්දෙයි. ඒක සතුට දුක කියන අන්ත දෙකේම සීමාවල් ඉක්මවා ගෙවපු අමුතු අවුරුද්දක්.

අද සජිත පුංචි පුතෙකුගේ ආදරණීය අප්පච්චියි. පුතා එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

ඒක වෙනස්ම අත්දැකීමක්. පුතා ඉපදුණේ 2022 මැයි මාසෙ. මම අපේ ගෙදර බාල දරුවා. බුවිත් එයාගේ පවුලේ බාල දරුවා. අපි දෙන්නම පුංචි කාලේ ඉඳන් හැමෝගෙම ආදරය, රැකවරණය පුරුදුවෙලා හිටියා. විවාහයෙන් පස්සේදී වුණත් ජීවිතේ වගකීම් දරන වැඩිහිටියන් විදිහට අපි හිතුවේ නැහැ. සෙල්ලක්කාර විදිහට, විනෝද වුණ දෙන්නෙක් විදිහට අපි ජීවත් වුණා. පුතාගේ ඉපදීමත් සමඟ පුතා අපි දෙන්නා එක්ක මේ යන ගමනේදී එයාගේ පුංචිම පුංචි දේවල් අපි සමරන හැටි, පුතා කරන පුංචි ඉරියව් පවා අපි මාර දෙයක් විදිහට සමරනවා. දැන් ජීවිතේ දවසින් දවස හරි වෙනස්. ජීවිතේ සැහැල්ලුවෙන්ම ගතකරපු කාලෙට වඩා පොඩි බරකට ජීවිතේ ගෙනියන බව දැනෙනවා.

image 22

දැන් සජිතට වයස අවුරුදු තිහයි. අද වෙද්දී හරි අපූරු නිවසක් හදලා තියෙනවා. මේ සැලැස්ම කාගෙද?

අපි ඉන්න ගෙදර බුවීගේ දෙමව්පියන් නිර්මාණය කරපු ගෙදරක්. ඒකේ පහළ තට්ටුවේ අපි ඉන්නවා. ඒ තට්ටුව අපිට අවශ්‍ය විදිහට, අපි ආස කරන විදිහට හදාගත්තා. බුවියි මායි යාළු වුණ කාලේ ඉඳන් දැකපු හීනයක් තමයි අපි නිර්මාණය කරලා තිබෙනවා. මේ ආර්ථිකයත් එක්ක එහෙම හදන එකත් ලෙහෙසි නැහැ. අපි උපයපු දේවල් අතරේ “ආදරයත්” අපි උපයලා තිබෙනවා. සමහර ආයතන මූල්‍යමය වශයෙන් පමණක් නෙවෙයි “ආදරයටත්” අපි එක්ක එකතු වෙනවා…. ඒ නිසා මේ අපේ කොටසේ සැලැස්ම සම්පූර්ණයෙන්ම නොමිලේ අපිට හදලා දුන්නා. ඒ සැලැස්මට අනුව අපි කොටසින් කොටස මේ කොටස හැදුවා. කොහේ මොන රටකට ගියත් අවසානයට එන ගෙදර ලස්සනට තියාගෙන ඉන්න එක හිතට සහනයක්.

image 23

රටේ ඉතා දක්ෂ, ප්‍රවීණ කලාකරුවෙක් අද ගිලන් වෙලා ඉන්නවා. අප්පච්චි රෝගී වෙලා ඉන්නකොට ඒ දුක දරාගන්න අමාරුයි. ඒ හැමදෙයක්ම විඳ දරාගෙන කලා කටයුතුවල යෙදෙන්නට ඔය හිතේ හයිය වෙන්න ප්‍රධාන හේතුවක් අප්පච්චිට නේද?

ඔව් අනිවාර්යයෙන්ම. ෆිල්ම්වල Super man, Spider man කියලා “සුපර් හීරෝ”ලා ඉන්නවා. මේවා ෆැන්ටසි චරිත. නමුත් ඇත්ත ලෝකයේ, පියවි ලෝකයේ අපේ ජීවිතේ යථාර්ථවාදී වීරයා අපේ අප්පච්චියි. එයා අපිට වීරයෙක් වෙන්න කරුණු කාරණා බොහොමයි. අප්පච්චිගේ දැනුම දක්ෂතාවය පුදුමාකාරයි. මම කොච්චර උත්සාහ කළත් මට කවදාවත් අප්පච්චි එක්ක හැරෙන්නවත් බැහැ. පුංචි කාලේ පොඩි කුඹුරේ වෙල්වල බැහැලා, ඒවයින් රොන්මඩ අරගෙන ඒවා පදම් කරලා ඒවායෙන් පිළිම හදල විකුණලා අප්පච්චිගේ ඉගෙනීම් කටයුතුවලට යොදවලා තිබෙනවලු. අප්පච්චිගෙන් තමයි අපිට ඕනකරන හයිය ලැබුණේ. මගේ ජීවිතේ වැඩිම ඉවසීම, වැඩිම ධෛර්යය තිබෙන, වැඩිම දැනුම තිබෙන සුපිරි වීරයා මගේ අප්පච්චියි. එයාට අමාරුවෙලා රෝහල්ගත කරලා අප්පච්චිගේ ඔපරේෂන් එකෙන් පස්සේ අප්පච්චි “කිසිම විදිහකින් මම සනීප වෙනකම් කියලා ඔයාලාගේ වැඩ නවත්වන්න එපා. ඔයාලා දිගටම වැඩ කරන්න” කියලයි අපිට කිව්වේ. එතනම තමයි අපිට තිබුණ එකම හයිය වුණේ. මේ අනතුර වෙලා මාසයක කාලයක් මමත් අයියත්, අක්කත්, අම්මත් අපේ හැම වැඩක්ම නවත්තල ඉඳිද්දී එයා කට්ටියම රැස් කරලා කියපු දේ අපිව හයිය කළා.

image 25

අද අප්පච්චිට කොහොමද?

අප්පච්චි සුව වෙමින් ඉන්නේ. කොච්චර හිතට හයිය අරගෙන වැඩකළත් සමහර වෙලාවට දරාගන්න හරි අමාරුයි. හිතේ කොච්චර දුක තිබුණත් අපි හැමෝගෙම ඒ දුක ඇතුළේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ අප්පච්චි ඉක්මණින් සුව වෙනව කියලයි. අප්පච්චි දවසින් දවස සුවපත් වෙන බව අපිට පැහැදිලිව පේනවා. දවසින් දවස දකින හැම වතාවකම අප්පච්චි සුවවෙන බව අපිට දැනෙනවා. ඒ නිසා බොහෝම ළඟදී අප්පච්චි නැගිටින බව අපි විශ්වාස කරනවා. ඒ බලාපොරොත්තුව නිසාම තමයි අපි මෙහෙම ශක්තිමත්ව ඉන්නේ.

image 27

සජිත රඟපෑ “ගාඩි” චිත්‍රපටය ළඟදීම තිරගත වෙන්නට සූදානම් වෙනවා?

ඔව්. රංගනයෙන් සහිත නළුවෙක් වෙන්න මම හීන දැක්කා. මම පටන් ගන්නේ සූරිය අරණෙන්. ඊට පස්සේ කුරුලු පිහාටු, අබා වැනි ළමා කාලයේදී හොඳ නිර්මාණ තුනකට සහභාගි වෙලා කැම්පස් යන්න ආස කරපු නිසා අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න ඕන නිසා දීර්ඝ නිවාඩුවක් ගන්න මට සිදුවුණා. ආයෙමත් මම සිනමාවට එන්න හොඳ අවස්ථා හතරක් ලැබුණා. එයින් එකක් තමයි ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටයයි. මේ චිත්‍රපට හතරම මීට අවුරුදු තුනකට විතර කලින් කරපු නිර්මාණයි. නමුත් මේ චිත්‍රපට හතරටම විවිධ හේතු නිසා තිරගත වෙන්න අවස්ථා ලැබුණේ නැහැ. මොනතරම් අමාරු කාලයක් පසුකළත් කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනව වාගේ ඉදිරියේදී චිත්‍රපට හතරම පෙළට තිරගත වේවි. ගාඩි චිත්‍රපටය ජනවාරි 20 වැනිදා සිට ලංකාවේ තිරගත වෙනවා. නමුත් ඊට පෙර ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඉන්දියාව ඇතුළු ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් ගාඩි බැලුවා. ඒකට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රසන්න විතානගේ කියන්නේ දැවැන්ත සිනමාකරුවෙක්. මේ චිත්‍රපටයත් ඉතා දැවැන්ත චිත්‍රපටයක්.

image 24

සජිත…. 2023 අවුරුද්දේ තිබෙන බලාපොරොත්තු මොනවාද?

ඇත්තටම මගේ ජීවිතේ හැමදාමත් ලොකු ලොකු බලාපොරොත්තු තියෙන්නේ. මගේ අප්පච්චි ලොකු ලොකු හීන දකින්න මාව පුරුදු කළා. ඒ නිසා පුංචි කාලේ මම මවපු දැකපු බොහෝ හීන වලට මගේ අම්මා, අප්පච්චිගේ ශක්තියෙන් බුවීගෙන් මට ලැබෙන ආදරයෙන් මම ලංවුණා. තවත් හීන තිබෙනවා. මේ අවුරුද්දේ මගේ හීනය තමයි මගේ “Saj Craction” ආයතනයයි. මම ඒ හරහා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා.

image 26

දිශානි ජයමාලි