උණුසුම් පුවත්
Search

මුද්‍රණයට කාඩ් නෑ – දසලක්ෂයකට ලයිසන් නැතිවෙයි

92

රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් නොමැති වීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ ඉල්ලුම්පත් දස ලක්ෂයට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

නව රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ සහ කල්පැනගිය බලපත් අලුත් කර ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති ඉල්ලුම්පත් මෙලෙස ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදාගන්නා සුහුරු කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා යූරෝ හයලක්ෂයක මුදල් ගෙවීමට අවශ්‍ය විදෙස් විනිමය මහ බැංකුවේ නොමැති වීමෙන් මාස කිහිපයක සිටම රියැදුරු බලපත්‍ර මුද්‍රණය අඩාළ වී තිබෙනවා.

මේ හේතුවෙන් රියැරු බලපත් ඉල්ලුම්කරුවන් වෙනුවෙන් වසරකට වලංගු තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල වල සේවා කළමනාකාරී වැඩපිළිවෙළකින් තොර වීම මත දහස් සංඛ්‍යාත පිරිසක් දින වේලා වෙන්කර ගනිමින් කොළඹට පැමිණීමෙන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සහ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයේ දැඩි කාර්යබහුල තත්ත්වයක් පවතින බව එම කාර්යාල වල සේවකයෝ සඳහන් කර සිටිනවා.

දිස්ත්‍රික් කාර්යාල කටයුතු දින වේලා වෙන්කර ගැනීම හරහා සිදුකරන නමුත් රිය බලපත් වලට හා පැවරුම් වලට අදාළ වැඩ කටයුතු දිස්ත්‍රික් කාර්යාල වලින් කාර්යක්ෂමව ඉටු නොවීම ඊට හේතු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස්ගෙන් කළ විමසුමකදී කියා සිටියේ රියැදුරු බලපත් මුද්‍රණ කාඩ්පත් නොමැති වීම නිසා දස ලක්ෂයකට අධික ඉල්ලුම්පත් ගොඩගැසී තිබීම සත්‍යක් බවයි.

ඒ වෙනුවෙන් තාවකාලික බලපත්‍ර වසරකට වලංගු වන පරිදි කඩිනමින් ලබා දෙන බවද ඔහු පැවසුවා.

එෆ්. අස්ලම්




Leave a Reply

Your email address will not be published.