හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අද (02) වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලස් ලබා ගැනීමට උත්සහා කළ බවට පසුගිය දා ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.
මෙම චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් නිමල් සිරිපාල ද සිල්වා ජූලි මස 06 වැනිදා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය.
අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී.
හිටපු ජනපතිවරයාගේ ඉවත් වීමෙන් පසු එම පරීක්ෂණ අතරමග නතර වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ද මෙම පරීක්ෂණ කඩිනම් කරන ලෙස හිටපු ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පෙරේදා (31) ජනාධිපති ලේකම් සමන් ඒකනායකට භාර දී ඇත.
එම කමිටු වාර්තාවට අනුව හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අදාළ චෝදනා වලින් නිදහස් වී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඔහුට සිය පත්වීමේ ලිපිය පෙරේදා (31) ලැබී ඇති බවත් අද (02) යළි සිය ඇමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
වරුණි පෙරමුණ
Source – Aruna