ප්‍රථම වතාවට පුවත්පත් සාකච්ඡාවක් හා එකතු වුණ පාඨලී, තමා සහ හෙක්ටර් මුණ ගැසුණු සිදුවීමෙන්ම කතාව ආරම්භ කළා.
ප්‍රංශයට එද්දි මට අවුරුදු පහයි. ඒතන ඉඳන් අවුරුදු 22 විතර වෙනතුරු මම මෙහෙ අධ්‍යාපනය කටයුතු කරගෙන ගියා. මම සොබෝන් විශ්වවිද්‍යාලයේ නීතිය හදාරවමින් ඉන්න සමයේ තමයි මට හේකටර්ව හඳුනාගන්න ලැබෙන්නෙ. මම හරි ආසාවෙන් හිටියෙ ලස්සන පවුල් ජීවිතයක් ගෙනියන්න. මගේ දෙමව්පියන්ගෙන් මම කවදාවත් ඒ දේ දැකල තිබුණෙ නැහැ…. හෙක්ටර් සමග විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න හීන දැක්ක මම අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමා විවාහ වුණා. විවාහයෙන් පස්සෙ මම සම්පූර්ණයෙන්ම මගේ පවුල වෙනුවෙන් කාලය වැය කළා.

තාත්තත් කලාවට සම්බන්ධ නිසා සුරුපී පාඨලීට කලාවට ඇරයුම් ලැබුණේ නැතිද?
තරුණ කාලේ ඉඳන්ම පොඩි පොඩි දේවල්වලට ඇරැයුම් ඇවිත් තියෙනව. මගේ තාත්තිත් කලා ක්ෂේත්රයේ නිසා මම ඒවට යනවට අම්මි කැමති වුණේ නැහැ. දැන් ආපසු හැරිලා බලත්දි මම කලාවට සම්බන්ධ නොවුණ එක හොඳයි කියල හිතෙනව….

මායි හෙක්ටරුයි එකම ක්ෂේත්රයක කාර්ය බහුල වුණා නම් අපිට ආදරයෙන් ඉන්න කාලයක් නැහැනෙ. මම සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ඉන්නෙ. හෙක්ටර්ගෙ සහ බබාල දෙන්නගෙ වැඩ වෙනුවෙන් ඒ විතරක් නෙවෙයි හෙක්ටර්ගෙ ව්‍යාපාර වල කළමනාරණ කටයුතු කරන්නෙත් මම. අවුරුද්දෙන් භාගයක් මම ඉන්නෙ ලංකාවේ.

ලංකාවෙ ඔබ දෙපළගේ පදිංචිය කොහෙද?
හෙක්ටර්ගෙ ගම මීගමුව, කොච්චිකඩේ. අපේ ගෙවල් තියෙන්නෙ එහෙ. වැඩ වලට කොළඹ ආවහම ඉන්න අපිට කොළඹත් එපාර්ට්මන්ට් එකක් තියෙනව.

හෙක්ටර්ගේ විලාසිතා නිර්මාණය කරන්නෙ පාඨලී බව ප්‍රසිද්ධ කතාවක්?
ඔව්, මම තමයි සියයට දෙසීයක් එයාගෙ ඇඳුම් හදන්නෙ…. දිවිතුරා ටෙලි නාට්‍යයේ එයා අඳින ඇඳුම් මම තමයි තෝරල දෙන්නෙ. නාට්‍යයේ සියවැනි වැඩසටහනේදි හෙක්ටර් ඇන්දෙ මම නිර්මාණය කරපු ඇඳුමක්. ඊට අමතරව එයාගෙ කොණ්ඩ විලාසිතාවේ පටන් එයාගෙ පෙණුමට බලපාන හැම දෙයක් ගැනම මම සැලකිලිමත් වෙනව.

පාඨලී ගායකයෙක් එකක්ම විවාහ වෙන්න හිතුවෙ ඔබේ පියාත් ගායකයෙක් නිසාද?
ඇත්තටම නැහැ. අපේ අම්මයි තාත්තයි වෙන්වෙලා දැන් අවුරුදු 30කට වැඩියි. තාත්තත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ…. තාත්තා ලෝකෙට කියන්නෙ නැහැනේ විවාහ වෙලා දරුවො ඉන්නවා කියල. එයා ඒ කාරණය හංගන නිසා මම එයාට සමීප වුණත් එයා මට සමීප වෙන්න කැමැත්තකුක් නැහැ, ප්‍රසිද්ධිය නැති වෙයි කියලා.

මගේ අම්මා මුලින්ම හෙක්ටර්ගෙයි මගෙයි සම්බන්ධයට කැමති වුණේ නැහැ. මෙයත් කාලකාරයෙක් නිසා මම අමාරුවේ වැටෙයි කියලා. ඒත් මේක මගේ තීරණය කියල තමයි හෙක්ටර් එක්ක විවාහ වුණේ. හැබැයි තාත්තයි හෙක්ටරුයි ගත්තම ඉරයි හඳයි වගේ හාත්පසින්ම වෙනස්. එකම ක්ෂේත්රයේ හිටියට එක මිම්මකින් හැමෝම මනින්න බැහැ. කලාකරුවො කියන්නෙ සංවේදී හිත් තියෙන මිනිස්සු කොටසක්. ඇත්තටම මට ලැබුණෙ නැති පිය සෙනෙහස මට ගෙනැත් දුන්නෙ හෙක්ටර්. පිරිමි කියන අය එපාවෙන තැනක උන්න වෙලාවක මට පිරිමියෙක්ගේ ආදරයේ වටිනාකම කියල දුන්නේ හෙක්ටර්. මට නොලැබුණ පිය සෙනෙහස හෙක්ටර් අපේ දරුවන්ට දෙද්දී මම හරි සතුටු වෙනවා. ඒක මට ආශිර්වාදයක් වගේ.

ජනප්‍රියත්වය සහ කාර්ය බහුලත්වය ඔබේ ආදරේට බලපෑම් කරලම නැද්ද?
ජනප්‍රිය වුණා කියල අපේ ජීවිතවල වෙනසක් වෙලා නැහැ. අපි විවාහ වෙලා දැන් අවුරුදු 16 ක් වෙනවා. මේ රටේ හිටියක් ලංකාවේ හිටියත් එයා දරුන්ගේ අධ්‍යාපනය, දරුවො ගෙදර එන යන වෙලාව පවා හොයනවා. මම මෙහෙ හිටියට එයා මට අපේ පවුලේ තනි බරත් ගෙනියන්න ඉඩ තියල නැහැ. මට මහන්සි වෙලාවට කේන්ති යන වෙලාවට එයා ඒ පැත්ත ගන්නවා. මම බලාපොරොත්තු නොවුණ විදිහට එයාගෙන් මට ඒ දේවල් ලැබෙනවා.

(ධම්මිකා සුරංජි පතිරණ – අරුණ පුවත්පතේ පිනිපලස අතිරේකයෙනි)