”මාත් එක්ක රණ්ඩුවෙවී යාළුවෙවී හිටපු මගේ සුරංගනාවිය. මම කොහොමද එයාව අමතක කරන්නේ….” රටම හැඬවූ හර්ෂණී ගැන මල්ලි කල ආන්දෝලනාත්මක කතාව..
“මට මගේ පණ වගේ හිටපු චූටි අක්කව අමතක කරන්න බැහැ අයියේ. එයා තමයි මගේ හොඳම යාළුවා. අක්කලා දෙන්නා කසාද බැඳලා ගෙදරින් ගියාට පස්සේ මාත් එක්ක රණ්ඩුවෙවී .. යාළුවෙවී හිටපු මගේ සුරංගනාවිය. මම කොහොමද එයාව අමතක කරන්නේ..” දෙනුවන් ඉකි ගසමින් ප්‍රශ්න කරන්නේය.
යොවුන් වයසේ පසුවන දෙනුවන් ප්‍රසාද් ධර්මවික්‍රම තම සහෝදරියගේ වියෝවෙන් මෙසේ හඬා වැලපෙන්නේ හැබෑවටම ඔහු තුළ ඇති ශක්තිමත් සහෝදර බැඳීම නිසාය.

“බලන්න … එයා අපි හැමෝම දාලා සදහටම යන්න යනවා. මෙහෙමවත් හෙට ඉඳලා අපිට එයාව දකින්න නැහැනේ.” දෙනුවන් පෙර පරිද්දෙන්ම එසේ තියා උණු කඳුළු පිස දැමුවේය.
මහ ගෙදර සාලයේ සුවෙන් නිදන හර්ෂණීගේ දේහය තවත් පැය කීපයකින් අවසන් කටයුතු සඳහා රැගෙන යෑමට නියමිතව ඇත. වත්තල පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජන වී එයින් පසුව හදිසියේ ඇතිවූ අසාධ්‍ය තත්ත්වයක් නිසා රාගම මහ රෝහලට ඇතුළත් කොට සිටියදී එසේ මිය ගියේ ජාඇළ දෑලතර පදිංචි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රමය මේ. අවාසනාවන්ත මරණය ගැන රටක් කතා කරද්දී අපි ජාඇළ දෑලතර පිහිටි මේ නිවෙස සොයා ගියේ හර්ෂණී මුහුණදුන් මේ අභාග්‍ය සම්පන්න සිදුවීමට අදාළ තවත් බොහෝ සැඟවුණු තොරතුරු සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.
“අපේ අක්කට ඉහෙන් බහින කිසිම ලෙඩක් තිබුණේ නැහැ. එයා හරිම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටපු, ඒ වගේම විනෝදයෙන් හිටපු කෙනෙක්. අපි මොනවා හරි කරන්න ප්ලෑන් කළත් එයා තමයි ඒකේ පෙරමුණ ගන්නේ. හැමදේම සැලසුම් කරන්නේ. මගේ අක්කා එක දේකට විතරක් දක්ෂ කෙනෙක් නෙමෙයි. එයාට නටන්න, සින්දු කියන්න වගේම උයන්න, පිහන්නත් පුළුවන්. එයාට හැමදේම වගේ ඉක්මනින්ම ලැබුණා. හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබුණා. රසික අයියා අපේම පවුලේ කෙනෙක් විදියට තමයි ඒ දෙන්නා දැන හඳුනාගෙන ආදරය කරන කාලේ ඉඳලම හිටියේ. ඉතින් එහෙම අක්කව තමයි හොරු අරන් ගියා වගේ අපෙන් උදුරලා ගත්තේ. මේක ඇත්තටම වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කමින් සිදුවෙච්ච දෙයක්.” දෙනුවන් එසේ කියමින් මේ කතාවේ අපි නොදත් තවත් බොහෝ දේ කියන්නට පටන් ගත්තේය. හර්ෂණී විවාහ දිවියට එළැඹෙන්නේ පසුගිය අගෝස්තු මස 13 වැනිදාය.
ඒ දවස ධර්මවික්‍රම පවුලේ සාමාජික සාමාජිකාවන්ට කිසිදා අමතක නොවන අපූරුතම දවසකි. “අක්කා එදා හිටියේ සුරංගනාවියක් වගේ. හරිම ලස්සනයි. හරිම පිළිවෙළයි. එයා හදවතින්ම ආදරය කරපු රසික අයියා එක්ක හිටපු විදිය හා ඒ දවසෙ සිදුවුණු දේවල් අපිට හීනයක් වගෙයි. අපි එයා එක්ක නැටුවා. කෑ ගැහුවා. සින්දු කිව්වා. දෙවියනේ මොනවද නොකළේ.” මේ ආකාරයට වසර කීපයක් ඇසුරු කළ රසික ජයකොඩි සමඟ විවාහ වූ හර්ෂනීගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ තම ආදරණීය ස්වාමි පුරුෂයා සමඟ ඕස්ට්‍රේලියාවට යන්නටය.

“මගේ රසික අයියා හරිම හොඳ කෙනෙක්. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. හොඳට ක්‍රිකට් ක්‍රීඩාව පවා කරන කෙනෙක්. ඉතින් චූටි අක්කා එයත් එක්ක ගිහින් යහපත් පවුල් ජීවිතයක් ආරම්භ කරන්න තමයි හීන මැව්වේ.” මේ විධියට විවාහ දිවියට ඇතුළත් වූ හර්ෂණී එම උත්සවයෙන් දින දෙකකට පසුව රෝගී වූවාය. ඒ සුළු උදරාබාධය නැවත වරක් ඇති වීමය.
“මේ සුළු බඩේ අමාරුව මුලින්ම හැදුණේ අගෝස්තු 01 වැනිදා වගේ දවසක. ඒ අනුව අක්කා පවුලේ වෛද්‍යවරයා ළඟට ගියා. ගිහින් ප්‍රතිකාර ලබා ගත්තා. එහෙම ප්‍රතිකාර ලබාගෙන ඇවිත් මගේ චූටි අක්කා එයාගේ වෙඩින් එකට ලෑස්ති වුණා.” අපි පෙර කී පරිදි ඇය අගෝස්තු 13 වැනිදාට යෙදුණු විවාහ මංගල උත්සවය වෙනුවෙන් උනන්දුවෙන් යුතුව කටයුතු කළාය. කිසිදු රෝගාබාධයක්, වෙනසක් ඇය තුළින් දිස්වුණේ නැත. කෙසේ හෝ විවාහයෙන් දින දෙකකට පසුව යළිත් වතාවක් ඇගේ උදරාබාධය මතුවීමට පටන් ගැනුණි. එයින් පසුව යළිත් වතාවක් හර්ෂණී පවුලේ වෛද්‍යවරයා වෙත යොමු විය. “ඊට පස්සේ තමයි අපි හසංජන ගුණවර්ධන වෛද්‍යවරයා වෙත යොමු වුණේ.

ඇත්තටම අපේ පවුලේ වෛද්‍යවරයා ඔහු ළඟට යැව්වේ, මේ වෙනුවෙන් උපදෙස් ගන්න. ඒත් ඔහු අපි එක්ක සුහද වෙලා මේ සම්බන්ධව දිගින් දිගට කතා කරලා පරීක්ෂණ සඳහා යොමු කරවලා අන්තිමේදී ශල්‍යකර්මය දක්වාම අපිව මෙහෙයෙව්වා. අපිට ඕන වුණේ අක්කව සුවපත් කරගන්න විතරනේ.” දෙනුවන් ප්‍රසාද් පවසන ආකාරයට පෙර කී වෛද්‍යවරයා විසින් හර්ෂණීගේ උදරාබාධයට බලපා ඇති හේතුව සොයා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ දෙකක් සිදු කරන්නේය. “මේ පරීක්ෂණ වලින් පස්සේ ඔහු අපිට කිව්වා අක්කගේ පිත්තාශය තුළ ගල් තිබෙනවා කියලා. ඒවා ලොකුවටම නැහැ පුංචි ගල් ප්‍රමාණයක් තිබෙන්නේ කියලත් කිව්වා. ඊළඟට කිව්වා සුව කරන්න නම් පිත්තාශය ඉවත් කිරීමට සිදුවෙනවා. ඒකත් පුංචිම පුංචි සැත්කමක්. ලොකුවට හිතන්න එපා කියලා.
ඔන්න ඔහොම තමයි අපිව මේ ශල්‍යකර්මය සඳහා කැමැති කරවා ගත්තේ.” වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව හර්ෂණීගේ සැත්කම සඳහා දින ලැබුණේය. ඒ අනුව අගෝස්තු මස 31 වැනිදා ඇය රෝහල්ගත විය.

“අක්කා රෝහල් ගත වෙද්දිත් හිටියේ හොඳ සෞඛ්‍ය තත්ත්වයකින්. වෛද්‍ය පරීක්ෂණ වලට යද්දිත් හිටියේ ඉතා හොඳ මානසික මට්ටමකින්.” “එහෙම ගිහින් සැත්කමට දින ලැබුණහම අගෝස්තු 31 වැනිදා වෙනතුරු ජීවිතේ වින්දා. අපිත් එක්ක ටි්‍රප් ගියා. සංගීත සන්දර්ශන බලන්න ගියා. ගිහින් ඩාන්ස් කළා. මට හිතාගන්න බැහැ එහෙම හිටපු අක්කා කොහොමද ජීවිතය හැර යන තරමට රෝගී වුණේ කියලා. ඇත්තටම අක්කා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන තත්ත්වය දක්වා පත්වුණේ ශල්‍යකර්මයෙන් පසුවයි.” පෙර කී වත්තල පෞද්ගලික රෝහලකදී පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍යකර්මයට ලක්වූ හර්ෂණීට හොඳ සිහියක් තිබුණේ නැත. ඇය ශාරීරිකව දුර්වල විය. වෛද්‍යවරයා කී පරිදි එය සුළු ශල්‍යකර්මයක් නොව කුමක් හෝ මහා අකරතැබ්බක් සිදුවී ඇති බව ඒ තුළින් පවුලේ උදවියට අවබෝධ විය. “මේ ඩොක්ටර් අපිට මුලින් කිව්වේ ඔපරේෂන් එකෙන් පස්සේ දවසක් දෙකක් යද්දී ගෙදරත් යන්න පුළුවන් කියලයි. ඉක්මනින්ම විවාහ ජීවිතයේ සතුට සමරන්න පුළුවන් විධියට හැමදේම හරි ගස්සලා දෙන බවත් කිව්වා. ඔහු හරිම මිත්‍රශීලි විදිහට තමයි ඒක කළේ.
Source – Online news