උණුසුම් පුවත්
Search
muthu

”ව්‍යාපාරික පැත්තට බර දීලා අලුත් වැඩක් පටන් ගන්නවා” – කවුරුත් ආදරේ කරන මුතූ තරංගා

565

පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් වන ඇය රැස්, ඉහිරුණු කිරි, පූජනීයයි ආදරේ වැනි ටෙලි නිර්මාණ රැසකින් ප්‍රේක්‍ෂක ආලින්දය හැඩ කළ තාරකාවකි. ඇය නමින් මුතූ තරංගා රංගනයට පමණක් නොව ගායනයටද එකසේ දස්කම් දක්වයි. පසුගිය කාලය පුරාවට පුංචි තිරයේ ඇයව දැක ගැනීමට නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසාම මුතූ තරංගා රංගනයෙන් ඉවත් වෙලා කියලා සමාජයේ කතාබහට ලක් වෙනවා. ඇයගේ ජීවිතයේ තතු සහ කලා කටයුතු පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීමට මෙවර කතාබහට එකතු වුනා.

May be an image of 1 person and baby

පසුගිය දිනවල නම් අවුරුදු උත්සව බොහෝමයක් තිබුණු නිසා තරමක් කාර්යබහුල වෙලා හිටියේ. මම රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න ඉන්නෙ. මේ දිනවල ඒ දේවල් සමඟ වැඩ කරගෙන යනවා.

ඔබ රංගනයෙන් ඉවත් වෙලා කියන්නේ ඇත්තක්ද?

දැනට නම් රංගනයෙන් ඉවත් වෙලා තමයි ඉන්නේ. මගෙ බබා තාම පොඩියි….. මමයි මගේ සැමියයි බබාගෙ වැඩත් කරගෙන අනෙක් වැඩකටයුතුත් කරගන්න ඕන. ඒ නිසා අපි දෙන්නා මාරුවෙන් මාරුවට බබාගෙ වැඩ කටයුතු කරනවා. මගේ වැඩ වලට කාලය යොදවන්න ටිකක් අමාරුයි. මොකද බබාගේ වැඩ වලට තමයි මුල් තැන දීලා තිබෙන්නේ. අවුරුදු කිහිපයකට මම රංගනයෙන් ඉවත් වෙලා ඉන්නේ. කෙටි නාට්‍ය නම් බාර ගන්නවා.

No photo description available.

අලුත් ටෙලි නිර්මාණ වලට ආරාධනා ලැබුණෙ නැද්ද?

ගොඩක් නිර්මාණ වලට ආරාධනා ලැබුණා. මම ගර්භණීව සිටි කාලයෙත් ඒක දන්නෙ නැතිව බොහෝ දෙනෙක් මට නිර්මාණ වලට ආරාධනා කළා. ආරාධනා වලින් නම් අඩුවක් ලැබුණේ නෑ.

මවක් විධියට ගෙවන අලුත් ජීවිතේ ඔබට දැනෙන්නේ කොහොමද?

කලාකරුවන් විධියට අපි පසුගිය වකවානුවේ හිටියේ ගොඩක් කාර්යබහුල වෙලා. දැන් බබා ලැබුණට පස්සේ ඒ හැමදේම වෙනස් වුණා. ඒක ජීවිතේ ගොඩක් වෙනස් කරපු හැඟීමක්.

බාධක මැදින් ක්‍ෂේත්‍රය තුළ ඔබ මෙතෙක් පැමිණි ගමන පිළිබඳ තෘප්තිමත්ද?

මම ඇත්තටම තෘප්තිමත්. මම කලාකාරිනියක් විධියට මේ තත්ත්වයට එන්න ලොකු කට්ටක් කෑවා. මම පැමිණි ගමන තුළ රසිකයන්ගෙන් විශාල ආදරයක් ලැබුණා. මගෙ පෞද්ගලික වැඩවලදීත් රංගන ශිල්පිනියක් කියන ලේබල් එක නිසා බොහෝ පහසුකම් ලැබුණා. මට ලැබුණු දේවල් නිසා ඇත්තටම මම හරිම වාසනාවන්තයි.

No photo description available.

අම්මා කෙනෙක් වෙන්න ඕන අම්මෙක්ගෙ දුක දැනෙන්න කියලා ඔබ එක් තැනක පැවැසුවා. මේ පිළිබඳ සමාජයෙන් විවිධ ප්‍රතිචාර එල්ල වෙනවා නේද?

අම්මා කෙනෙක් වෙන්න ඕනම නැහැ අම්මා කෙනෙක්ගේ දුක දැනෙන්න කියලා බොහෝ දෙනා විවිධ ප්‍රතිචාර දක්වා තිබුණා. නමුත් මම ඒකෙන් අදහස් කළේ අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපවීම දැනෙන්නේ අපිටත් දරුවෙක් ලැබුණට පස්සේ. අපි මවුවරු වෙන්න කලින් මවක් කරන කැප කිරීම පෙනෙනවා. නමුත් ඒ හැඟීම මට ඒ විධියටම දැනුණෙ මමත් අම්මා කෙනෙක් වුණාට පස්සේ. මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකෙ මවක් වෙන්න ආසාවෙන් ඉන්න හැමෝටම එයාලගෙ බලාපොරොත්තුව ඉටු වෙලා මවක් වීමේ හැඟීම විඳින්න ලැබෙන්න ඕන කියලා.

රංගන ශිල්පිනියන්ට මඩ ප්‍රහාර, චෝදනා එල්ල වීම සුලබ දෙයක් වෙලා. ඔබේ ජීවිතේ එවැනි අවස්ථා තිබිලා නැද්ද?

අද බොහෝ අයට හැදෙනවා වගේ ගොසිප් නම් මං ගැන හැදුණේ නැහැ. නමුත් මම ජීවත් වුණු පරිසරයේ හිටපු මිනිස්සු නිසා යම් යම් දේවල්වලට මුහුණ දීමට සිදු වුණා. ගම්වල මිනිස්සු හිතන විධිය වෙනස්. රංගන ශිල්පිනියක් වුණු මුල් කාලයේ යම් යම් දේවල් මට කිව්වා. නමුත් ජීවිතයට ලොකු බලපෑමක් වෙන විධියේ මඩ ප්‍රහාර නම් එල්ල වෙලා නැහැ.

No photo description available.

ඔබට හොඳ ගායන හැකියාවක් තිබෙනවා. එම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මටත් එහෙම හිතෙනවා. පුංචි කාලෙ ඉඳලා මගෙ ආසාව තිබුණේ ගායිකාවක් වීමට. නමුත් කොහොම හරි මම රංගන ශිල්පිනියක් වුණා. චැට් ප්‍රෝග්‍රෑම් වගේ රූපවාහිනියේ සම්බන්ධ වුණු බොහෝ වැඩසටහන්වලදී මට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සංගීත සන්දර්ශන වල ගීත ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා. ලංකාවේ වගේම විදෙස් ප්‍රසංග වලටත් සහභාගි වුණා. එක් දිනකදී ප්‍රසංග තුනකට සහභාගි වෙලා තිබෙනවා. ඒ ගැන නම් මට සතුටුයි.

ක්‍ෂේත්‍රය තුළ කලකිරුණු අවස්ථා තිබිලා නැද්ද?

එහෙම අවස්ථා නම් තිබුණා. මගේ රංගන ජීවිතයේ වසර දෙකක කාලයක් අපරාදෙ කියලා හිතුණු අවස්ථා තිබුණා. ඒ කාලයේ මම රඟපාන්න ගියේ නැහැ. මට ඒ දේවල් ගොඩක් නුහුරුයි. මට සිදුවුණු බලපෑමක් නොවුණත් ක්‍ෂේත්‍රයේ සිදුවුණු සමහර දේවල් දැකලා කලකිරුණා. සමහර අවස්ථා වල වෙලාවට ගෙවීම් කළෙත් නැහැ. එවැනි දේවල් නිසා එපා වුණු දවස් තිබුණා.

No photo description available.

කල්ලිවාදය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම මම කල්ලිවාදය ගැන නම් ගොඩක් හිතනවා. සමහර අධ්‍යක්‍ෂවරු එකම රංගන ශිල්පීන් පිරිසක් නිර්මාණවලට තෝරා ගන්නෙ ඇයි කියන ගැටලුව මට තිබෙනවා. ලංකාවෙ මෙච්චර රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටියදී එකම පිරිසක් තෝරා ගැනීම ඇත්තටම ගැටලු සහගත තත්ත්වයක්. සමහර විට අධ්‍යක්‍ෂවරු සිතනවා ඇති හුරු පුරුදු පිරිසක් සමඟ කටයුතු කිරීම පහසුවක් කියලා. සෑම රංගන ශිල්පියෙක්ගෙන්ම ක්‍ෂේත්‍රයට වැඩක් ගන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ.

ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු.

රෙස්ටොරන්ට් එක විවෘත කරන්න ළඟ නිසා ඒ වැඩකටයුතු තමයි ඉදිරියේදී සිදු වෙන්නේ. මෙම මාසයේ සීදූවෙ තමයි ඒක ඕපන් කරන්නේ. දැනට නම් ඉදිරි වැඩකටයුතුවලට කෙරෙන්නෙ ඒ දේවල් තමයි.

No photo description available.

 

චමෝදි පෙරේරා