උණුසුම් පුවත්
Search
sanath jayasooriyas mother

”අම්මා කවදාවත් මං සෙල්ලම් කරන මැච් එකක්වත් බලන්න ඇවිත් නෑ” – ලොවක් ආදරය කරන ජයසූරිය, ”අම්මා” ගැන කියන කතාව

400

ඕනෑම භාෂාවකින් ලොව වැඩිපුරම ලියැවී ඇති වදන ‘අම්මා‘ය. ලොව ලොකුම ධනවතාගෙත්, ලොව අන්තිම දුප්පතාගෙත් අම්මා එක හා සමාන ය. දරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව ආදරය, කරුණාව දැක්වීම පමණක් නොව කැපකිරීම් කන්දරාවක් ද උහුලන මේ උතුම් චරිතයට කිසිදු ආදේශකයක් ද නැත. දරුවකුට පියකු කෙරෙහි කෙතරම් ගෞරවාදරයක් තිබුණත්, ඒ සියල්ලම අම්මාට යට ය. කර දඬු උස් මහත් වූ දරුවකුට පියකු දඬුවම් කරන්නේ කලාතුරකින් වුවත් අම්මා කෙනකුට නම් තම දරුවන්ට දඬුවම් කිරීමට ඔවුන්ගේ වයස් සීමාව අදාළම නැත. ඇය දරුවන්ගේ ජීවිතයට වැටුණු යෝධ සෙවණැල්ලකි. තම මව අහිමි වීම තරම් විඳ දරාගත නොහැකි දුකක්, වේදනාවක් කෙනකුට තවත් නම් නැත.

බ්‍රීඩා ජයසූරිය මාතාවගේ වියෝවෙන් පවුලේ බඩපිස්සා වූ සනත් ජයසූරියට දැනෙන්නට ඇත්තේ ද එවැනිම දුකකි. මේ දයාවේ මාතාව ඊයේ පෙරේදා ජීවිතයෙන් සමුගෙන ගියේ චන්දන හා සනත් පුතුන් දෙදෙනාටම එවැනි දුකක් ඉතිරි කරමිනි. ලොවක් දිනූ ක්‍රිකට් තරුවක් ජාතියට දායාද කළ බ්‍රීඩා ජයසූරිය මහත්මිය ගැන අසා දැන ගැනීමට මාතර, කොටුවේගොඩ, මහාමායා මාවතේ ‘මහගෙදර‘ට ගිය මොහොතේ සනත් ජයසූරිය ‘සිළුමිණ‘ට කීවේ ඒ දුක්බර කතාව ය.

May be an image of 1 person and text

‘අපේ අම්මා හරි පුදුම චරිතයක්. ගත කළේ හරි සරල ජීවිතයක්. අම්මට ක්‍රිකට් ක්‍රීඩාව ගැන එච්චර දැනීමක් තිබුණේ නෑ. අපි පොඩි කාලේ හැම තිස්සෙම කිව්වේ ඕ ලෙවල් පාස් කරලා උසස් පෙළ හොඳට කරලා හොඳ රස්සාවක් කරන්න කියලයි. අම්මා හිටියේ ඒ බලාපොරොත්තුවෙන්. එහෙම තියෙද්දී තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ. ඒ ගැන අම්මා පොඩ්ඩක් බය වුණා. ක්‍රීඩාව නිසා ඉගෙනීම කඩාකප්පල් වුණාට පස්සේ මගේ අනාගතයට මොකද වෙන්නේ කියලා චකිතයකිනුයි අම්මා හිටියේ. ඒ නිසාම දවසක් අම්මා අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා, ගලප්පත්ති සර් (සාන්ත සර්වේෂස් විදුහලේ හිටපු විදුහල්පති ජී.එල්.ගලප්පත්ති මහතා) මුණ ගැහිලා ‘මේ කරන වැඩෙන් මොකක්ද වෙන්නේ‘ කියලා අහලා තිබුණා. ‘ළමයා හොඳට සෙල්ලම් කරනවා..ඒ නිසා එයාට ඒක කරගන්න ඉඩ දෙන්න‘ කියලා ගලප්පත්ති සර් අපේ අම්මට කියලා තිබුණා.‘
සනත් මේ කියන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූ ළමා වියේ සිදුවීමක් ගැනය. ඔහුගේ ක්‍රිකට් ජීවිතයට අප්‍රමාණ වූ දිරිගැන්වීමක් ලැබුණේ මාතර, සාන්ත සර්වේෂස් විදුහල්පතිවරයා සහ පුහුණුකරු ලයනල් වගසිංහ මහතාගෙනි. ඔහුගේ මාපියන්ට සනත්ගේ ක්‍රිකට් දස්කම් ගැන කියා දී ඔහුගේ ක්‍රිකට් අනාගතය සැලසුම් කිරීමට හා මඟපෙන්වීමට ගුරුහරුකම් දුන්නේ ඔවුන්ය.

May be an image of 7 people and bedroom

‘අම්මට බය හිතුණේ මම ඕලෙවල් ෆේල් වෙයි කියලයි. ඒත් මම කොහොමහරි ඕලෙවල් පාස් වුණාම අම්මට විශ්වාස කරන්නත් බැරි වුණා. මොකද මම ක්‍රීඩාව පැත්තේ තමයි හිටියේ හැමතිස්සෙම. අනික් කාරණය තමයි අම්මා ට ක්‍රිකට් ගැන කිසිම අවබෝධයක්, දැනීමක් නොතිබීම. අම්මා මගේ ක්‍රිකට් ගැන දැනගත්තේ ගමේ අයගෙන්. ඒ කාලේ මම ස්කූල් මැච් එකකදී අවුට් වුණාම අම්මා ඒ විස්තර දැනගන්නෙත් අහළ පහළ අයගෙන්. ගමේ කට්ටිය ඇවිත් අම්මට කිව්වම පුතා අවුට් වුණා කියලා අම්මා මට ඒක කියනවා.‘මොකද පුතේ අර ගමේ කට්ටිය කියන්නේ ඔයා මොනවද ගහන්නේ කියලා. අවුට් වුණාලු. උඩ ගැහුවලු කිය කියා බනිනවා කියලා.

‘‘එක අතකින් අම්මා වැඩිය ක්‍රිකට් ගැන දන්නේ නැති එක මට හොඳක් වුණා. අම්මා කවදාවත් මැච් බලන්න ආවේ නෑ. අයියයි, තාත්තායි තමයි හැම තිස්සෙම ග්‍රවුන්ඩ් එකට ආවේ. ඒ ආවත් අම්මා එයාලාට උගන්වලයි එවන්නේ එයාට පාඩුවේ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. වැඩිය අරවා මේවා කියන්න යන්න එපා. පේන්න ඉන්න එපා. කොහේ හරි අයිනකට වෙලා පුතාට පේන්නේ නැති තැනක අයිනකට වෙලා ඉඳලා එන්න කියලා. ඉතින් අයියයි තාත්තායි මම සෙල්ලම් කරනවා බලන්න ආවට මට පේන්න ඉන්නේ නෑ. මමත් වැඩිය කැමති වුණේ නෑ එයාලා මම සෙල්ලම් කරද්දී මට පේන තැනකට වෙලා බලාගෙන ඉන්නවට.‘

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ මේ මාස්ටර් බ්ලාස්ටර්ගේ අකුණු සැර වැනි වේගවත් පිති ප්‍රහාරය දැක බලා ගැනීමට ලොව ඕනෑම රටක ක්‍රිකට් ලෝලීන් එක්රොක් වුව ද, සනත්ගේ මවට නම් ඒවා වගේ වගක් නැති ගාණය. ඇයට ඔහු ඇගේ ආදරණීය පොඩි පුතා පමණක් විය.

මම අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ටීම් එකට තේරුණු දවසේ මං හිතන්නේ අම්මාට සතුටු හිතෙන්න ඇති. ඒත් ඒ ගැන මොකුත් කිව්වේ නෑ. ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරද්දිත් එහෙමයි. අනික අම්මා කවදාවත් මැච් එකක්වත් බලන්න එන්නේ නෑ. මං කරන කියන දේවල් ගැන වැඩිය දන්නෙත් නෑ. මැච් එකක් ගැහුවට පස්සේ කවුරුහරි ඇවිත් කිව්වම තමයි අම්මා ටී.වී.එකෙන් හරි ටිකක් බලන්නේ. ඒ හැරෙන්න මම සෙල්ලම් කරනවා බලන්න ග්‍රවුන්ඩ් එකට නම් ආවෙම නැති තරම්. මම අම්මාව කිහිපවතාවක් විදෙස් සංචාරවලට එක්කගෙන ගිහින් තියෙනවා. ඒ ගියත් මගේ ක්‍රිකට් ගැන කවදාවත් මගෙන් අහන්නේ නෑ. ඒ ගැන කතා කරන්නේ නෑ. ඒක ඇත්තටම මට හොඳ දෙයක් වුණා. අනවශ්‍ය පීඩනයක් නෑ. අනවශ්‍ය බලපෑමක් නෑ. මොකද අපේ අම්මා හරි සැරයි. අනිත් අය වගේ නෙවෙයි. මටයි අයියටයි දෙන්නටම ඒ වගේ. සැර කියන්නේ අපිට නම් අන්තිම සැරයි. සැර අවවාද තමයි නිතරම දෙන්නේ. කියන්න තියනදේ කෙළින්ම කියනවා. මට නෙවෙයි කාට වුණත්. ඒක එයාගේ හැටියක්. මම වගේ තමයි. සමහරුන්ට ඒවා එච්චර හිතට ඇල්ලුවේ නෑ.

No photo description available.

සනත් ජයසූරිය ගැන ලොවම දැනගත්තේ 1996 ලෝක කුසලාන තරගාවලියේදීය. එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවීමෙන් පසුවය. අනතුරුව ඔහු රොෂාන් මහනාම සමඟ එක්ව 1997 ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පිතිහරඹයෙන් ලෝක වාර්තාවක් තැබුවේය. සිය හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 340ක් රැස් කළේය.

‘අම්මා හිතෙන් සතුටු වෙන්න ඇති. ඒත් ඒක වැඩිය පෙන්නුවේ නෑ. සනත් ජයසූරියගේ අම්මා කියලා වැඩිය ආඩම්බර වෙන්න ගියෙත් නෑ. මමත් එහෙමනේ. හරිම සරල ජීවිතයක් තමයි ගත කළේ. සාමාන්‍ය විදිහටම ජීවත් වුණා. ඒක තමයි මම අම්මගෙන් දැකපු හොඳම දේ. එදා ඉඳලා අසනීප වෙනකල්ම පයින්ම තමයි පොළට යන්නෙත්. අසනීප වෙනකල්ම ඒ විදිහට පොළට ගියා.

සනත් ජයසූරිය ගමේ අයට සනත් වූව ද, ඔහු ලොව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වූයේ ජයසූරිය නමිනි. අද වුවද ලොව ඕනෑම තැනකදී ශ්‍රී ලාංකිකයකු ඔහු ‘සනත්‘ නමින් ආමන්ත්‍රණය කරන්නේ නම් නිසැකවම ඒ කුඩා වියේ සිටම ඔහු හොඳින් දන්නා හඳුනන පාසලේ හෝ ගමේ හෝ පුද්ගලයෙකි. බාහිර පුද්ගලයන් ඔහු කෙසේ ආමන්ත්‍රණය කළ ද, ඔහුගේ මවට නම් සිය බාල පුතු ඇමතීමට නම් දහසක් තිබිණි.

No photo description available.

‘අම්මා මට එක එක නම් කියනවා. වෙලාවකට යකා කියලත් කියනවා. පුතේ කියනවා. අම්මා ට මට කතා කරන ඔය වගේ එක එක නම් තියෙනවා. මම ඉතින් පවුලේ දඟයානේ. කියන දේ අහන්නේ නැති දඩබ්බරයා නේ. ඒ නිසා නිතරම මං ගැන ඇහැ ගහගෙන තමයි හිටියේ.‘

‘අම්මා තමයි අපේ පවුලේ ලොකුම දිරිය ශක්තිය වුණේ. තාත්තා හිටියාට හැමදේම හොයලා බලලා කළේ අම්මා තමයි. පුදුම කැපවීමකින්, ශක්තියකින්, පුදුම මහන්සියකින් අම්මා ඒ දේවල් කළා. ඒ වගේම හරි වේගවත්ව වැඩ කටයුතු කරපු කෙනෙක්. අම්මාට ඕන කළේ මායි අයියයි හොඳ තැනක ඉන්නවා දකින්න විතරයි. මටයි අයියටයි උපරිම දේ දෙන්නයි නිතරම බැලුවේ. අපේ පවුල ගොඩ දාන්න හරියට දුක් වින්දා. ඒගොල්ලෝ ඒ කියන්නේ අපේ ආචිචිලා ගේ ඉඳලා ආප්ප පුච්චලා විකුණලා තියෙනවා. අම්මා රැකියාව කළේ ලක්සලේ. ඒ කාලේ අපේ පවුලේ අඟහිඟකම් වැඩිවෙද්දී, අපිට අමාරු කාලයේදි අම්මා රැකියාවෙන් අයින් වෙලා මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවකට පවා ගියා. ඉතින් අම්මා කියන චරිතය අපේ පවුලේ තාත්තාගේ භූමිකාවටත් එහාට ගිය එකක් වුණා.

May be an image of 1 person

එවකට පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩපරීක්ෂකවරයකු ලෙස රැකියාවේ නිරතව සිටි සනත්ගේ පියා ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ වැටුප පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන හා වෙනත් කටයුතුවලට ප්‍රමාණවත් නොවීය. එබැවින් අතිරේක ආදායමක් ලැබීමේ අවශ්‍යතාව ජයසූරිය පවුලට තදින්ම දැනී තිබිණි.
‘තාත්තා නැතිවුණේ 2020 අවුරුද්දේ. ඊට පස්සේ අම්මා තමයි හැමදේටම හිටියේ‘

බ්‍රීඩා ජයසූරිය මහත්මිය කොටුවේගොඩ අසල්වාසීන්ගේ ද ආදරයට, ගෞරවයට ලක්වූ කාන්තාවකි. ‘බ්‍රීඩා ඇන්ටි‘ නමින් ගම් පළාතේ කවුරුත් ආමන්ත්‍රණය කළ සනත්ගේ මව දහමට දැඩි ලෙස නැඹුරුව සිටි බව ද සනත් කීවේය.

‘ගමේ කට්ටිය හරි ආදරෙයි අපේ අම්මාට. ඒ වගේම අම්මා හොඳ ජීවිතයක් ගත කළා. ගොඩාක් පින් අතේ වැඩ කරලා තියෙනවා. බෞද්ධ දර්ශනය හොඳින්ම අවබෝධ කරගෙනයි හිටියේ. පන්සල තියෙන්නේ අපේ ගෙදර තාප්පෙන් එහා පැත්තේ. (කොටුවේගොඩ ජයසුමනාරාමය) හැම පෝයකටම වගේ අම්මා සිල් ගත්තා. පන්සලේ වැඩකටයුතුවලට නිතරම දායක වුණා. අපි පොඩි කාලේ ඉඳලම අම්මා එහෙමයි. එහෙම කියලා නෑ. සිංහල මුස්ලිම් ජාති භේදයක් නැතිව හැමෝම එක්ක හොඳින් ඇසුරු කළා. අපේ ගමේ සිංහල බෞද්ධ, මුස්ලිම් හැම කෙනෙක්ම ඉන්නවා. එයාලා අපේ අම්මාට හරි ආදරෙයි. ඕනම කෙනෙක් බ්‍රීඩා අක්කා කියලා කටපුරා කතා කරලා සලකනවා.‘ සනත් කීවේය.

ජයසුමනාරාම විහාරස්ථානය සමඟ බැඳුණු දැහැමි ජීවිතයක් ගත කළ බ්‍රීඩා ජයසූරිය මහත්මිය සිය දරුවන් වෙනුවෙන් නිරතුරුවම බෝධි පූජා පැවැත්වූවාය.

May be an image of 1 person

‘අම්මාගේ අන්තිම අවුරුදු තුනේදි එයා අසනීපයෙන් හිටියේ. මම බැලුවා ගොඩාක්. අයියා තමයි ලොකු කැපවීමක් කළේ අම්මා වෙනුවෙන්. අම්මාගේ අසනීපය පටන් ගත්තු කාලේ අපි දෙන්නම එකතු වෙලා කොළඹ ගෙනියලා අවශ්‍ය ප්‍රතිකාර දෙන්න ඒ වගේම කැපකිරීමක් කළා. මොකද අපේ අම්මා අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු එකට අපිට කරන්න පුළුවන් යුතුකම ඒකයි. එයාට දුකක් නොදී එයා සතුටින් තියන්න අපි ලොකු උත්සාහයක් ගත්තා. එයා සතුටින් යන්න ඇති. ඇත්තටම එදා මම හිටියේ නෑ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක අමෙරිකාවේ හිටියේ. අයියයි, අයියගේ බිරිය, එයාලගේ දුවලා දෙන්නා මහගෙදර අම්මගේ ළඟින් ඉඳලා හොඳින් රැක බලාගත්තා. අම්මා හොඳ තැනක ඉපදේවි. එයා අපිට දීපු ජීවිතයට එයාට ගොඩාක් පින්. මේ ලෝකෙට අපිව බිහි කරලා ක්‍රීඩාවට මාව දායාද කරලා අම්මා සතුටු වෙන්න ඇති.‘ සනත් එසේ කීවේය.

ජයසූරිය පවුලේ වැඩිමලා චන්දන ය. ඔහු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරතව සිටින අතර, රාහුල විද්‍යාලයේ ගුරුවරියක වන ඔහුගේ බිරිය ඒ.එච්. දම්මිනි සහ ගුරු වෘත්තියේ නිරතව සිටින වැඩිමල් දියණියත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් පසුවන බාල දියණියත් බ්‍රීඩා ජයසූරිය මහත්මියගේ අවසන් කාලයේ ඇය වෙනුවෙන් විශාල කැපකිරීමක් කර තිබිණි. චන්දන ‘සිළුමිණ‘ට කීවේ මවට හැම අතින්ම නායකත්වයේ ගතිලක්ෂණ තිබූ බවකි.

May be an image of 10 people

‘අපේ අම්මාට නායකත්වයේ ලක්ෂණ තිබුණේ. හැමදෙයක්ම හොයලා බලලා අඩුපාඩුවක් නැතිව වැඩ කරන්න අම්මා හරි දක්ෂයි. අඩු ආදායම්ලාභී පවුලක් හැටියට තාත්තාගේ වැටුපෙන් ජීවත් වුණු අපිව ලොකු තැනකට ගේන්න අම්මා තමයි කැපවීමෙන් වැඩ කළේ. මටත් වඩා අම්මා මල්ලිට කිට්ටුයි. ඒ දෙන්නා වෙලාවකට යාළුවෝ වගේ තමයි. අම්මා මොකක්ද කියන්නේ මල්ලි ඒක තමයි කළේ. ඒ වගේම මල්ලි මානසිකව වැටුණු හැම වෙලාවේදිම අම්මා ළඟින් හිටියා. හැබැයි ක්‍රිකට් මැච් බලන්නේ නම් නෑ. කවුරුහරි කිව්වොත් මල්ලි හොඳට සෙල්ලම් කරනවා කියලා අන්න ඒ වෙලාවට ටීවී එකේ පොඩ්ඩක් විතර බලනවා. ඒ කාලේ ඉඳලම මල්ලිගේ ක්‍රිකට් ජයග්‍රහණ වෙනුවෙන් අම්මා නිතරම අව්ව වැස්ස නොබලා පන්සල් ගිහින් බෝධි පූජා තියලා මල්ලිගේ හිත ශක්තිමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට මතකයි මල්ලිගේ ක්‍රීඩා ජීවිතයේ මුල් කාලේ ගල්කිස්ස වටරප්පල පාරේ බෝඩිමක නැවතිලා හිටපු කාලේ අම්මා තනියමත් ගියා මාතර ගෙදර ඉඳලා මල්ලිව බලන්න. අපිටත් කියනවා ගිහින් බලලා සහයෝගය දෙන්න කියලා. අම්මගෙන් ලැබුණු ඒ හයිය නිසා තමයි ඒ කාලේ මල්ලිට බාහිර බලපෑම්වලින් තොරව ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් අවධානය යොමු කරලා මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ.‘ චන්දන ජයසූරිය එසේ කීවේය.

ලොවක් දිනූ ක්‍රිකට් ක්‍රීඩකයකු ලොවට බිහි කළ බ්‍රීඩා ජයසූරිය මහත්මිය මිය යන විට 84 හැවිරිදි වියෙහි පසුවූවාය. ඇගේ අවසන් කටයුතු පසුගියදා මාතර පොදු සුසාන භූමියේදි සිදු කෙරිණි.

May be an image of 5 people, dais and text

ඡායාරූප – රංජිත් අසංක සහ කසුන් රන්දික
ෆවුස් මොහොමඩ්
සිළුමිණ