උණුසුම් පුවත්
Search
monkeypox 1 2

”මන්කිපොක්ස් නාසයෙනුත් ඇතුල්වෙන්න පුළුවන්” – ආචාර්ය චන්දිම ජීවන්දර

134

කොවිඩ් රෝගයෙන් නොසෑහෙන්නට බැට කෑ ලෝකයා, යළිත් සුපුරුදු ජීවන රිද්මයට පැමිණෙමින් සිටියදී තවත් වයිරසයක් විසින් ලෝකයට අනතුරු හඟවමින් සිටියි. ඒ මන්කිපොක්ස් ය. ඉකුත්දා මෙම වයිරසය අසල්වැසි ඉන්දියාවට ද පැමිණ ඇති බව තහවුරු විය. ඒ සමගම මෙරට ජන මනස තුළද ‘මන්කිපොක්ස් බිය’ හොල්මන් කරන්නට පටන්ගෙන තිබේ. එබැවින් එම රෝගයේ හාත්පස ගැන දැනගනු පිණිස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් මෙසේ විමසුවෙමු.

මන්කිපොක්ස් කියන රෝගය අලුත් වයිරසයක් ආශ්‍රයෙන් පැමිණි රෝගයක්ද? නැතිනම් ඒ වයිරසයට ඇත්තෙ කුමන ආකාරයේ ඉතිහාසයක්ද?

මේ ලෝකයට ප්‍රථම වතාවට මේ වයිරසය හමුවුණේ 1958 දී පර්යේෂණයක් සඳහා යොදා ගත් වඳුරන් තුළ මෙම වයිරසය පැවැතියා. ඒ නිසා තමයි මෙයට මන්කිපොක්ස් කියලා සඳහන් කරන්නේ. මන්කිපොක්ස් වයිරසය ඩී.එන්.ඒ. වයිරසයක් ලෙසින් හඳුන්වනවා.

වඳුරන්ගේ ශරීරයේ තිබූ මෙම වයිරසය මිනිසුන්ට ආසාදනය වීමට පටන් ගත්තේ කොයි කාලයේද?

මෙම වයිරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වුණේ 1970 වර්ෂයේ අප්‍රිකානු රාජ්‍යයකින්. ඉන් අනතුරුවත් මේ රෝගය වැලඳුණු පුද්ගලයන් අප්‍රිකානු කලාපීය රටවල සිටියා. මේ රෝගය වැලඳුණු පුද්ගලයන් අප්‍රිකානු රාජ්‍යයන්ගෙන් විටින් විට හමුවුණා. මේ රෝගය තවත් රටවල්වලින් වාර්තා වුණත් ඒ ඒ රටවල රෝග ව්‍යාප්තියක් දක්නට ලැබුණේ නැහැ. ඒත් මේ වසරේදී ප්‍රථම වතාවට සංචාරයක් සමග බැඳුණු නැති ආසාදිතයන් එකවරම කීප‌දෙනකු හමුවුණා. ඒ අනුව තමයි මේ රෝගය ගැන නැවත වරක් කතා කරන්න පටන් ගත්තේ.

image 527

යුරෝපා රටවල්වල මේ වන විට මෙම රෝගයට ගොදුරු වී ඇත්තේ පිරිමි පුද්ගලයන් ‌නේද? මේකට හේතුවක් තියනවාද?

මෙම රෝගය ආසාදනය වී තිබෙන පිරිමි පුද්ගලයන් පිළිබඳව සොයාබැලීමක් කළා. එතැනදී තහවුරු වුණා මොවුන් සමලිංගික ඇසුරු පවත්වාගෙන යන අය බව.

එයින් කියැවෙන්නේ මේ රෝගය ලිංගික සබඳතාවන්ගෙන් බෝවන්නක්ද?

එය බෝවන්නේ ලිංගික සබඳතාවන් නිසාමය කියලා කියන්න බැහැ. මෙම වයිරසය ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන්. ඒ කෙසේ නමුත් මෙම වයිරසය ශ්ලේෂ්මල පටලය හරහා හෝ සම හරහා පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ආසාදනය වෙන්න පුළුවන්. විශේෂයෙන් යම් පුද්ගලයකුගේ ලිංගික ප්‍රදේශවල හටගන්නා තුවාලවල ස්‍රාවයන් තවත් පුද්ගලයකු‌ගේ සිරුරේ තැවරුණහොත් එම පුද්ගලයාට රෝගය ආසාදනය විය හැකියි. මේ වන විට සිදුවන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ආසාදනය වීමක්. ඒකයි රෝගීන් මේ තරම් ලෝකය පුරා වාර්තා වන්න‍ේ. ආසාදිත පුද්ගලයන් සමීපව සම්බන්ධතාවන් පැවැත්වීම හරහා රෝගය බෝවිය හැකිය.

මෙහිදී ආසාදිත පුද්ගලයෙක් භාවිත කළ තුවා, ඇඳ ඇතිරිලි, පිඟන් කෝප්පවල විෂබීජය තැවරීම නිසා ඒවා අන් අයටත් පැතිර යා හැකියි.

මෙම වයිරසය පැතිරීමේ ශීඝ්‍රතාව කොයි වගේද? කොවිඩ් වයිරසය තරම් වේගයෙන් මෙය පැතිරෙනවාද?

ඒ තරම් වේගයෙන් මෙම වයිරසය පැතිරෙන්නේ නැහැ. ආසාදිත පුද්ගලයකුගේ ආශ්‍රිතයෙක් වූ පමණින් මෙම රෝගය බෝවන්නේ නෑ. සමීප ආශ්‍රිතයෙක් විය යුතුයි. ඒ කියන්නේ ආසාදිත පුද්ගලයකු සමග බොහෝ වේලාවක් සමීපව ඇසුරු කිරීමෙන් මෙම වයිරසය ආසාදනය වීමේ හැකියාව පවතිනවා.

4 5

මේ වන විට මන්කිපොක්ස් වයිරසය ලොව රටවල් කීපයක පැතිර ගොස් තිබෙනවා. මෙම වයිරසය අප රටට ඒමේ හැකියක් තියෙනවාද?

වයිරසයකින් පැතිර යන ඕනෑම රෝගයක් ඕනෑම අවස්ථාවකදී රටකට පැමිණීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගය ලොව පුරා හදිසි තත්ත්වයක් ලෙස නම් කරලා තියෙන්නේ. මේ රෝගය ජාත්‍යන්තර ලෙස පැතිරීමේ හැකියාවක් තිබෙන නිසයි එසේ හදිසි තත්ත්වයක් නම් කරලා තිබෙන්නේ. මේ නිසා රටක් හැටියට අපි මේ රෝගය පැමිණීමෙන් සුරක්ෂිතයි කියලා සහතිකයක් දීමේ හැකියාව නැහැ.

යම් ලෙසකින් මෙම රෝගය අප රටට සම්ප්‍රේෂණය වුණත්, එය පැතිරයෑමට නොදී ආරක්ෂා වීමට ලංකාවට හැකියාවක් තියෙනවාද?

තවමත් මෙම වයිරසය ආසාදනය වුණ පුද්ගලයකු මෙරටින් හඳුනාගෙන නැහැ. එහෙම හඳුනා ගත්තොත් එම පුද්ගලයාව වහාම නිරෝධායනයට යොමු කරලා රෝගය තව දුරටත් පැතිරීම වළකවා ගන්න පුළුවන්.

මන්කිපොක්ස් වයිරසය ආසාදනය වුණ පුද්ගලයකු හඳුනා ගන්නේ කොහොමද?

මෙය කොවිඩ් රෝගය මෙන් හංගාගෙන සිටී‌මේ හැකියාවක් නැහැ. මොකද මන්කිපොක්ස් වයිරසය ආසාදනය වූ විට එම පුද්ගලයාට උණ වැලඳෙනවා, ඒ වගේම සම පුරාම රතු පැහැති බිබිලි මතුවී පසුව මෙය තුවාල ලෙස දිස්වීමට පත්වෙනවා.

වයිරසය ආසාදනය වූ විට සිරුරේ මතු පිට බිබිලි ඇතිවීම පෙර දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද?

උණ, කැස්ස, හිසරදය, වසාගැටිති ඉදිමීම, මස්පිඬු වේදනාව ඇතිවෙනවා. කෙසේ නමුත් කැස්ස හා හිසරදය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයන් ලෙස සැලකෙන්නේ නැහැ.

මෙම රෝග ලක්ෂණ කොපමණ කාලයක් පවතිනවදා?

සාමාන්‍යයෙන් සති 2 – 4 වැනි කාලයක් පවතින අතර එය ඉබේම සුව වී යනවා.

මෙම රෝගයේ ඇතිවන අතුරු ආබාධයන් මොනවාද?

මෙම රෝගයේ අතුරු ආබාධ නැහැ. තියෙන්නේ සංකූලතාවන් පමණයි. නියුමෝනියාව, ලේ වලට විෂබීජ ඇතුළු වීම, මොළයේ ආසාදනය, ඇස්වල ආසාදනය නිසා ඇස නොපෙනී යාම, ඇතැම් විට මරණය පවා සිදුවිය හැකිය.

මෙම රෝගය බෝවිය හැකි විශේෂ වයස් සීමාවන් තිබෙනවාද?

මෙම රෝගය අනෙකුත් වයිරස් රෝගයන් මෙන්ම ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට විශේෂයෙන් සෑදෙන්න පුළුවන්. ඒ අනුව ගත්විට කුඩා දරුවන්ට, වයස්ගත අයට, ඒ වගේම විවිධ රෝගාබාධවලින් පෙළෙන අයට වැඩි අවදානමක් තිබෙනවා.

මෙම රෝගය ශ්වසන මාර්ගයෙන් ආසාදනය වන බැවින් මේ වන විට මුඛ ආවරණ පැලඳීම නිර්දේශ කර තිබෙනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානය මුව ආවරණ නිර්දේශ කර තිබෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට පමණයි. සාාමාන්‍ය පුද්ගලයන්ට එය තවමත් නිර්දේශ කර නැහැ.

image 525

මෙම රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රයෙන් ආසාදනය වන නිසා සෙම පටල පරීක්ෂාවකින් වයිරසය හඳුනාගත හැකිද?

සෙම පටල පරීක්ෂාවකින්, නැතහොත් පීසීආර් පරීක්ෂාවකින් එය කළ හැකියි.

පීසීආර් පරික්ෂාවක් කියලා ඔබ මෙහිදී අදහස් කළේ කොවිඩ් රෝගය සඳහා සිදුකරන පරීක්ෂාවමද?

ඔව්, එම පරික්ෂාවම තමයි‍. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු රෝහල් පද්ධතියේම පීසීආර් පරික්ෂාවන් සිදුකරනවා. රෝගියාගේ රෝග ලක්ෂණ අනුව සෙම සාම්පලය පරීක්ෂා කිරීමේදී රෝගය නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව අප සතුව පවතිනවා.

image 526

මෙම රෝගකාරක වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ හැකියාව අප සතුව පවතිනවාද?

පර්යේෂණ කිරීමේ හැකියාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනය සතුව පවතිනවා.

මෙම රෝගය මැඬපැවැත්වීම සඳහා මේ වන විට ඖෂධ හා ප්‍රතිකාර පවතිනවාද?

මේ වයිරසය අපි අවුරුදු 50ට වැඩි කාලයක සිට දන්නා වයිරසයක්. මේ සම්බන්ධයෙන් ලොව පුරා පර්යේෂණ ගණනාවක් සිදු කරලා තියෙනවා. මේක අලුත් වයිරසයක් නොවෙයි. මේ සඳහා විවිධ පර්යේෂණ කරලා සුදුසු ඖෂධ වර්ගයන් නිෂ්පාදනය කරලා තියෙනවා. ස්මොල්පොක්ස් වැක්සීන් එක මේ මන්කිපෝක්ස් රෝග මර්දනයට සියයට 85ක පමණ සාර්ථක රැකවරණයක් ලබාදෙනවා. මේ රෝගය කොවිඩ් රෝගය මෙන් නොවෙයි, අවශ්‍ය කරන පරීක්ෂණ කිරීමට පහසුකම් වගේම, ඖෂධ වර්ග, වැක්සීන් වර්ග මේ වන විට පවතිනවා .

මෙම රෝගය මේ වන විට වසංගතයක් බවට පත්වෙලාද?

ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මෙය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර නැහැ‍.

එසේ නම් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය PUBLIC HEALTH EMERGENCY OF INTERNATIONAL (PHEI) යනුවෙන් හදිසි තත්ත්වක් ප්‍රකාශයට පත් කළේ ඇයි?

සාමාන්‍යයෙන් ලොව පුරා රටවල් කීපයක් මෙවැනි වයිරස් රෝගයක් පැතිර යන අවස්ථාවකදී ඒ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා කල් ඇතිව අනතුර ඇඟවීම කළා. උදාහරණ ලෙස කියනවා නම් 2009 H1 N1 ඉන්ෆ්ලුවන්සාව සඳහා 2013 – 2015, 2018 – 2020 ඉබෝලා වයිරසය සම්බන්ධයෙනුත් මෙවැනි තත්ත්වයක් ප්‍රකාශ කළා. 2014 සිට අද දක්වාම පෝලියෝ වයිරසය සඳහා මේ නිවේදනය ලබා දුන්නා. 2016 දී සිකා වයිරසයටත් 2019 සිට මෙම ලබා දුන්නා. කොවිඩ් වයිරසය සම්බන්ධයෙනුත් මෙම නිවේදනය ලබා දුන්නා.‍ මෙම නිවේදනය ලබාදී සති 5කට 6කට පසුව තමයි කොවිඩ් රෝගය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. මේ අනුව මන්කිපොක්ස් වලට තවම රතු නිවේදනය මේ ලැබුණා පමණයි. මේ නිවේදන හරහා ඔවුන් සඳහන් කරන්නේ මෙම රෝගයට මුහුණ දීමට සූදානම් වෙන්න කියලයි.

සූදානම් වෙන්න කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද?

දැනට මේ සඳහා භාවිත කරන එන්නත්, ඖෂධ, පරීක්ෂණ උපකරණ කට්ටල වැඩිදියුණු කිරීම ආදිය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම.

සංවාදය – ශ්‍රියානි විජේසිංහ

Source – Aruna




Leave a Reply

Your email address will not be published.