කොළඹ මහාධිකරණය විසින් ඊයේ (06) ඇමති ප්‍රසන්න රණතුංග හට ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර තිබෙනවා.
ඇමතිවරයා වෙනුවෙන් නීතිඥ මේරි ඩික්මන් මහාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත අද (07) මෙම අභියාචනය භාර දුන් අතර අදාළ නඩු ගොණුව අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා.
2015 වසරේ කොළොන්නාව, මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩකර එහි රැදී සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරිමේ සිද්ධියකට අදාළව අධි චෝදනා 15ක් යටතේ මෙම නඩුව ගොණු කර තිබුණා.
ඇමති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිද මොරීන් රණතුංග හා නරේෂ් කුමාර් ෆාරික් යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබු අතර වසර 07කට ආසන්න කාලයක් මෙම නඩුව විභාගයට ගැනුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නඩුවේ තීන්දුව ඊයේ (06) ප්‍රකාශයට පත් කරමින් අධි චෝදනා 15වෙන් 14 කින්ම ඇමතිවරයා නිදහස් කරනු ලැබුවා.
දෙවන විත්තිකාරිය වු ඇමතිවරයාගේ බිරිද වන මොරීන් රණතුංග හා නරේෂ් කුමාර් ෆාරික් යන අය සියලු චෝදනා වලින් නිදහස් කෙරුණු අතර 13 වන චෝදනාවට පමණක් ඇමතිවරයාට වසර 05කට අත්හිටවු සිර දඩුවම් නියම කෙරුණා.
අද (07) ඇමතිවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥ මේරි ඩික්මන් මහාධිකරණ රෙජිස්ටාර්වරයාට භාරදුන් අභියාචනා පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එම 13 වන චෝදනාවට ඇමතිවරයා වරදකරු කිරිමේ නියෝගය නිෂ්ප්‍රභා කරන ලෙසත් ඔහුව නිදොස් කොට නිදහස් කරන ලෙසත්ය.
එම සහනයන් ලබාදීම සුදුසු නොවන්නේ යැයි අභියාචනාධිකරණය විසින් තීරණය කරන්නේ නම් ලබා දි ඇති දණ්ඩන නියමයන් ලිහිල් කරන ලෙස ද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.