උණුසුම් පුවත්
Search
fuel

ඉන්ධන කෝටාව වෙනස් කරන්න ඇමති කාංචන සැරසෙයි

66

පූර්ණ කාලීන කුලී ත්‍රිරෝද රථ ‌රැකියාවේ නිරත පුද්ගලයන් වෙනුවෙන් අමතර ඉන්ධන කෝටාවක් තවත් සති 02කදී පමණ ලබාදෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ශ්‍රි ලංකාවේ ලියාපදිංචි ත්‍රි රෝද රථ සංඛ්‍යාව ලක්ෂ 11ක් පමණ වුවත් පූර්ණ කාලීනව කුලී රථ ‌‌සේවාවේ යෙදන ත්‍රි රෝද රථ සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්න බවද අමාත්‍යවරයා පවසනවා.

මෙම ත්‍රි රෝද රථ හඳුනාගනිමින් ඒවා ලියාපදිංචි කර දත්ත පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව අමතර ඉන්ධන කෝටාව ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කිය සිටියා.

“දැනටමත් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීලා තියෙනවා ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ සියල්ල අපි බලාපොරොත්තු වෙනවා සතියක් වගේ කාලයක් මම හරියටම දින වකවානු කියන්නේ නෑ. අපි බලන්නේ උපරිම සති දෙකක් තුළ මේ කටයුත්ත කරන්න. නමුත් අපි බලනවා මේ සතියේ අවසන් කරගන්න පුළුවන් වුණොත් ලේඛන ටික හදාගන්න වැඩි කාලයක් යන්නේ නෑ. නමුත් ඒවා නැවත වතාවක් QR කෝඩ් එකට ඇතුළත් කරන්න ඕනේ. ඒකට ඩේටා ටික ඇතුළත් කරගන්න ඕනේ. ලක්ෂ 3ක් විතර වගේ තියෙනවා. දැනට අපි පෞද්ගලික බස්රථ එහෙම කරගෙන යනවා. ඒ නිසා ත්‍රීරෝද රථ ඒ වගේ කරගෙන යනවා. ඊට පස්සේ ඔවුන්ට අමතර කෝටාවක් ලබාදීමට අපි කටයුතු කරනවා….

ඒ වගේම අපි ත්‍රීරෝද රථවලින් ඉල්ලන්න ඕනේ අපි දැන් අවස්ථා තුනක දී අපි දැන් පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා. රු 100කින් අඩුකරලා තියෙනවා. රු 40කින් ඊයේ අඩුකරා. ගිය සති දෙකකට කලින් රු 40කින් අඩුකරා. ඊට සති දෙකකට කලින් රු 20කින් අඩුකරා. ඒ අනුව පෙට්‍රල් මිල අඩුවීමේ ප්‍රතිලාභයත් ජනතාවට ලබාදිය යුතුයි කියන යෝජනාවත් මේ වෙලාවේ කරනවා. ඔබතුමන්ලාගේ වෘත්තීය සමිති පැත්තෙන් ඒ ඉල්ලීම කරන්න කියන ඉල්ලීමත් කරනවා.”