උණුසුම් පුවත්
Search
dilini

”වැරදුණ තීරණ නිසා විවාහය කල්ගියා” – ළඟදීම විවාහයට සැරසෙන දිලිනි ලක්මාලි

886

කලා ක්ෂේත්‍රයේ සිටින දිගු වරලසක් හිමි රංගන ශිල්පිනිය කියූ පමණින් ඔබේ මතකයට එන්නෙ දිලිනි ලක්මාලියි. පංච කල්‍යාණයෙන් සපිරි මේ රූමතිය කාගේත් ආදරය දිනාගත්ත සරල තරුණියක් කිව්වොත් වරදක් නෑ. රුවෙන් ගුණයෙන් අඩුවක් නැති දිලිනි තවමත් තනිකඩයි. ඒ නිසාම කාලෙකට පස්සෙ හමුවුණ අවිවාහක තරුණ නිළියකගෙන් අහන්න තියෙන සාම්ප්‍රදායික පැනයම ඇසුවා.

දිලිනි ඇයි විවාහය කල් දාන්නෙ….?

”හිතා මතා විවාහය කල් දමමින් හිටියෙ නැහැ. විවාහ වෙන්න ඕනෑ කියන අදහස මා තුළ තිබුණා. මට ප්‍රේම සබඳතාත් තිබුණා. නමුත් ජීවිතයේ අපි ගන්න සමහර තීරණ හරියනවා, සමහර තීරණ වැරදෙනවා. ගෙවුණ කාලයේ ආදරය ගැන ලැබුණ අත්දැකීම් සමගම ජීවිතයට නිවැරදිම දේ තෝරාගැනීමේ අත්දැකීම් මට ලබාදුන්නා කියලයි මම හිතන්නෙ….”

image 169

ඉතින් දිලිනි තවමත් පසුවෙන්නෙ අත්දැකිම් එක්කාසු කරන අවදියේද?

”මම ලබන වසරේ විවාහ වෙන්න තීරණය කරලයි ඉන්නෙ. මම හිතනව නිවැරදි කාලයේදීම මම නිවැරදිම තීරණය ගත්තා කියලා….”

image 170

දිලිනිට පෙම්වතා හමුවෙන්නෙ කලාව තුළින්මද..?

”දැන්ම වැඩි විස්තර කතා කරන්න මගේ කැමැත්තක් නැහැ. නමුත් මම මෙහෙම කියන්නම්. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ වුණාට එයා කලාවට ගොඩක් ආදරය කරන කලාකාමී හිතක් තියෙන කෙනෙක්….”

දිලිනි විවාහයෙන් පසුව රට හැර යාවිද?

”එහෙම අදහසක් නැහැ. මම වෘත්තීය කලාකාරිනියක්නෙ. ඉතින් මගේ වෘත්තිය මට කරන්න පුළුවන් මේ රටේදියි. විවාහයෙන් පසුවත් මගේ රංගන කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා….. අනිත් කාරණය මට ඉන්නෙ එක සෙහොයුරෙක් විතරයි. මේ වන විට ඔහු ඩුබායි රටේ රැකියාවක් කරනවා. විවාහයෙන් පසුව මගේ දෙමව්පියන් ජීවත් වෙන නිවසේම අපි පදිංචි වෙන්නයි අදහස…”

image 164

දිලිනිගෙ විවාහය කලා තරු පිරිවරාගත්ත විචිත්‍ර විවාහ උත්සවයක් වේවි නේද?

”මම ජීවිතයේ සරල බව ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. මගේ විවාහයේදීත් සරල බවින් යුතුව ඒ කටයුත්ත සිදුවේවි. දෙන්නෙක් විවාහ වෙද්දි වැදගත් වෙන්නෙ විවාහ උත්සවය මහ ඉහළින් ගත්ත,ද කවුද ඒ උත්සවයට සහභාගි වුණේ, කොහෙද විවාහ උත්සවය පැවැත්වුණේ වගේ කාරණා වලට වඩා විවාහපත් වෙන දෙපළ එකිනෙකා තේරුම් ගත්තද, මේ දෙන්නට සතුටින් සාමයෙන් ඉදිරි ජීවිතය ගත කරන්න පුළුවන්ද කියන කාරණාව විතරයි….”

image 165

රසික රසිකාවියන්ගෙ මතයට අනුවද වැඩ කරන්නෙ?

”ඇත්තටම බොහෝ අවස්ථා වල ඔවුන් මට කරන්න එපා කියන දේවල් මමත් පෞද්ලගිකව කරන්න අකමැති දේවල්ම තමයි. උදාහරණයක් විදිහට ඔවුන් කියනවා මට ටික් ටොක් කරන්න එපා, ඒක මට ගැළපෙන්නෙ නැහැ කියලා. මමත් පෞද්ගලිකව ටික් ටොක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි…”

image 166

ඇයි දිලිනි ඔච්චර නිහඬ දිවියක් ගත කරන්නෙ…?

”කලා ලෝකයේ තරු නිතර ගැවසෙන තැන්වල මාව හමු නොවීම, නළු නිළියන් එන බොහෝ රූපවාහිනී වැඩසටහන්වල මාව නොදකින එක වගේ කාරණා ගැන නම් ඇත්තටම මම මගේ රංගන කටයුතු හැරුණාම වැඩිය එළියට යන්න කැමති කෙනෙක් නෙවෙයි….”

image 168

කාර්යබහුල රංගන දිවියේ කොණ්ඩෙ රැකගන්න මොනවද කරන්නෙ?

”ඇත්තටම මගේ කොණ්ඩය ක්ෂේත්‍රයේ මගේ අනන්‍යතාවය බවට පත්වෙලා. කොහොම වුණත් දිග කොණ්ඩයක් රැකගන්න එක ලේසි නැහැ. ඒකට අවශ්‍ය පෝෂණය ලබාදීම වගේම සාත්තු කරන්නත් ඕනෑ. කොණ්ඩය නිරෝගීව පවත්වා ගන්න අවශ්‍ය පෝෂණය අනිවාර්‌යෙන්ම ලබාගන්නවා. හැම සෙනසුරාදාවකම ඉරිදාවකම අපේ ගෙදර කොළකැඳ හදනවා. මම හොඳට වතුර බොනවා….”

image 167

ධම්මිකා සුරංජි පතිරන