උණුසුම් පුවත්
Search
jackson

දිවියෙන් සමුගත් ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

6943

අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

එදින සවස 03ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබේ.

මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ද ඥාතීන් දැනුම් දී ඇත.

May be an image of 1 person, white lily and baby's-breath

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද අලුයම අභවප්‍රාප්ත වී තිබුණි.

1958 වසරේ ජූලි මස 08 වන දා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මිය යන විට 65 වන වියෙහි පසුවුණි.

චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දී ඇති ඔහු හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලය, ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා විශේෂ උපාධියක් ලබා ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තේය.

ජැක්සන්ගේ බිරිඳ කුමාරි මුණසිංහ, අකිල ධනුද්දර හා සජිත නම් පුතනුවන් දෙදෙන සහ මාධවී වත්සලා දියණිය කලාවට සම්බන්ධව කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී පූරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුළද සිය සහජ දක්ෂතා පිළිඹිමු කර ඇත. ජැක්සන් හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස දහසය වතාවක් දිනාගත් විශිෂ්ටයෙකි.

‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු‘‘මරාසාද්’’,“තාරාවෝ ඉගිලෙති’ , ‘‘මධුර ජවනිකා’’,‘‘ලෝම හංස’’, ‘‘ධවල බීෂණ’’, ‘‘අත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය.

ගුරු ගෙදර, චිත්ති, අයෝමා ,ලොකු දුව,භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර ආදී චිත්‍රපට රැසක රඟපෑවේය.

පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ ටෙලිනාටකවලද රගපෑවේය.

“ඇසළ කළුවර” ‘භූමිකා 7’ ‘‘දස්කොන්’’ වැනි ටෙලි නාටක අධ්‍යක්ෂකයටද දායක විය. ‘‘ජුලියට්ගේ භූමිකාව’’ හා පාරාදීසය,අබා, ඇඩ්‍රස් නෑ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි.

සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර 2022.07.02 දින ජැක්සන් ඇන්තනී, ඔහුගේ සොයුරු සමන් ඇන්තනි, සහ ඉරේෂ් ලක්මාල් නැමැති තරුණයෙක් සමග ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ජල ටැංකියට නුදුරින් ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් බරපතල අනතුරකට ලක්වී මෙම අනතුරට මුහුණ දුන්නේය.

බරපතල තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුළත් කර එතැනින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළ අතර මාස 14ක කාලයක් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී මෙලෙස මියගියේය.

09112515 down